සෙල්ලම්කාර කවිකම්: ලිමරික් කවි, ලිමරයිකු සහ මෝඩපහේ තවත් ලියවිලි

සුදර්ශන සමරවීර

නිදහසේ දුවන සිංහයගෙ
කකුලක් කපනු වෙනුවට
කඩුවක් අතට දෙන එක
මොන තරම් පහසුයිද?
(කුසල් කුරුවිට, කිරුළුකෝලය, පි. 17)

ආචාර්ය විවිමරී වැන්ඩර්පූට්න් කලකට පෙර කුසල් කුරුවිටගේ -කිරුළුකෝලය- කවි පොත එවූ පසු, ළඟ එන ගිම්හානයේ කියවන්නෙමියි කියා ඇයට ලියා යැවුවද ඒ ගිම්හානයත් තවත් ගිම්හානයකුත් පසුව මේ සරත් වන තුරුත් ආචාර්ය විවිමරීට මාකියූව, මුසාවාද ගොඩේ සෘතු අතර මාරු විය. මේ දිනවල විභාග වෙහෙසට කවි කියවන අතර කිරුළුකෝලයත් කුරුළු පහසක් මෙන් විය. ඕනෑම කෙටි කවියක් දකින විට හයිකු සිහිවෙන ගුණය ලංකාවේ කවි කියවන අය අතර බෙහෙවින් බෝවී ඇති බව සිතමින් මේ කවි දෙස බලන විට, මේ කවි වඩාත් කිට්ටු හයිකුවට නොව ලි‍මෙරික් කවිවලට බව මට සිතිණ. එහෙත් කුසල්ගේ කවි ලිමෙරික් කවි බව හෝ ඒ ලිමෙරික් කවි මග අනුගමනය කරන කවි විධියක් කියා නොවේ මා මෙහි කියන්නේ. ඔහුගේ කවිය වෙත එළඹීමට ලිමෙරික් කවිය වෙතින් සැපයෙන අන්තර්දෘෂ්ටි ගැනයි. ඒ කවි වෙත එළඹෙන ආකාරයෙන් කුසල්ගේ කවි වෙත එළඹීමේ වැදගත්කමයි. කුසල්ගේ කවිය වෙත ප්‍රවේශ වීම සඳහා ප්‍රකට ඇමෙරිකානු දාර්ශනිකයෙකු හා කලා විචාරකයෙකු වන ආතර් ඩාන්ටෝගේ – After the end of the art – කලාවේ අවසානයෙන් පසු කලාව- පිළිබඳ ප්‍රවාදය හා බැඳුණු මූලික ප්‍රවේශයත් වැදගත් බව සිතමි. මේ ප්‍රවේශ දෙකම ගෙන කිරුළුකෝලය මුල් කරගෙන කලාව වෙත පිවිසිය හැකි වෙනස් ආකාර ගැන අදහස් කිහිපයක් ඇසුරින් වෙනම සටහනක් ලියමි. මේ සටහන, ලිමෙරික් ආරේ (limerick-like) රචනා විධිවල ඇති කවිතාව කුමක්ද, ඒවායෙහි යම් කාව්‍යාත්මක සාරයක් තිබේද,එම පඨිත මත පැනෙන කාව්‍යමය ක්‍රියාකාරීත්වය කුමක්ද වැනි ප්‍රශ්න වෙත ඉඟි බැලුම්ලන කෙටි සටහනක් පමණි.

ලිමරික් කාව්‍ය (Limerick Poetry)

පේරු රටින් පැමිණි බළලා

සිටියා පැමිණ බළලෙක් – පේරු රටින්
කකා සිටිනු සෙරෙප්පුවක් සිහිනෙන් දුටු
ඇහැරුණ ඔහු රෑ ජාමේ – මාර බියෙන්
දැනගත්තා සැබෑ වෙලා සිහිනය දුටු

The Cat from Peru

There once was a cat from Peru,
Who dreamt he was eating a shoe;
He woke in the night,
In a terrible fright,
And found that his dream had come true.

දළ වශයෙන් කවියෙන් කියැවෙන අර්ථය කියනු පිණිස පමණයි මගේ පරිවර්තනය. මේ කවි ඉංග්‍රීසියෙන් කියවීම ඉතා පහසුයි. ඉංග්‍රීසියෙන් කියවන්න ටික ටික පුරුදු වෙන අයටත් මේ කවි විිනෝදයෙන් කියවන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ එන කටහඬ අභ්‍යාස කිව හැකි Mouth-twist වැනි ස්වභාවයකුත් තියෙනව. ලිමෙරික් කවි යනු එයටම අනන්‍ය වූ සුවිශේෂ ආකෘතියක් සහිත එකක්. එහි පද පේළි පහක් තිබෙනව. රිද්මය සහ එළිසමය එහි විශේෂයි. මේ සටහනේ එන පින්තූරවලින් ඔබට කවිවල ආකෘතිය බලන්න පුළුවන්.

ඉහත උපුටාගත් කවිය ලියූ ඉංග්‍රීසි ජාතික එඩ්වර්ඩ් ලියර් එම කවි ශානරයේ පුරාගාමියා සේ සැලකෙනව. එඩ්වඩ් ලියර්, ඉංග්‍රීසි සාහිත්‍යයේ ලිමරික් ජනප්‍රිය කළ බොහොම විනෝදශීලී කවියෙකු, කතාකාරයෙකු, විචාරකයෙකු මෙන්ම චිත්‍ර ශිල්පියෙකුත් වෙනව. මෙම සටහනට අමුණා ඇති පින්තූරයෙන් පෙනෙන කෘතියෙහි එන සමහර ලිමරික් කවි ඔහු විශේෂයෙන් ලියා ඇත්තේ ළමයින් ඉලක්ක කරගෙන. (සමහර කවි වැඩිහිටියන්ට) ඒ වුණත් ළමා මනසකින් රසවිඳීම සඳහා. මේ ඉතා කුඩා සිරුරකින් යුතු ලිමෙරික් කවි බෙහෙවින්ම සංගීතවත්. ඒ වගේම විටෙක අභූතරූපියි. නිතරම තරමක් මරි මෝඩ වගේ හැඟෙන ඒ වගේම, අන්තිම පේළියෙදි කිසියම් විකාර පුදුමයක් ඇති කිරීම තමයි ඒ කවිවල හැටි.

සිටියා එක් තරුණ කතක්
නාසය පාද තෙක් දික් වුණ
කුලියට ගත්තා ඈ – සන්සුන් මැහැල්ලක්
ඔසවාන යන්නට අර පුදුම නාසය

There was a young lady whose nose,
Was so long that it reached to her toes;
So she hired an old lady, whose conduct was steady,
To carry that wonderful nose. (Lear, p. 43)

මේ තව එකක්.

There was an old man, who when little
Fell casually into a kettle;
But, growing too stout, he could never get out,
So he passed all his life in that kettle (p.180)

මේ කවි විධිය ශබ්ද රසය මුල් කරගත් එකක් බව පැහැදිලියි. එය හාස්‍යය, විටෙක උපහාසය මුසු කරගත් යම් වැල්වැටරාම්කාරී – විටෙක අපබ්‍රංසකාරී ගොඩනැංවීමක් වෙන්න පුළුවන්. අපේ දෛනික යථාර්ථය තුළ විකාර සේ පෙනෙන අතර තාර්කික සන්නිවේදනයට අනුව අර්ථ විරහිත ප්‍රකාශන සේ මේව පෙනෙනව. මේ මොන මළ විකාරද වගේ. සාමාන්‍යයෙන් විශිෂ්ට සේ ගැණෙන කවිවලත් සාමාන්‍ය යථාර්ථය සහ කාව්‍යයමය අතර නොගැළපීම්, පරස්පරතා ඕනෙ තරම් තියෙනව. නමුත් මේවයේ ඒ සම්භාව්‍ය කාව්‍යමයත්වය නෑ. ඒ වෙනුවට ළමා ලෝකයේ යථාර්ථයක් ඒ කවිවල පැනෙනව. ඇත්තෙන්ම, මේ ළමාගුණය මේ කවිවල මට පෙනෙන වැදගත්ම ලක්ෂණයක්. දේවල් දෙස ළමා මනසකින් බැලුවම සමහර විට වැඩිහිටි-විද්‍යාත්මක-යථාර්ථවාදී ලෝකයේදී අපේ විඥානයට හසු නොවෙන පුංචි පුංචි බොහෝ දේ මතු වෙන්න පුළුවන්. මේ කවිවල ඒ පැනෙන යථාර්ථය භාෂා ලෝකයේ බොරුවක් වුණාට ඒවායෙහි ගම්‍යමාන හාසය එල්ල වෙන්නෙ මහා යථාර්ථයටම තමයි. බැලූ බැල්මට වැදගම්මකට නැති ප්‍රලාප මෙන් පෙනුනත් ඒ වෙතින් එල්ල වෙන්නෙ බොහෝ විට ඒ කියන යථාර්ථයටම විවේචනයක්. මේව හරියට සමාජයේ තැන් තැන්වල කෙරෙන විහිළු වගේ. ඒ විහිළුවල ඇති විවේචක ගුණය මේවා හොඳින් හසුකර ගන්නව.

17වන සියවසේ එංගලන්තයේ විසූ එඩ්වර්ඩ් ලියර් කියන අපි ඉහත කියූ ලේඛකයා මේ ශානරය හඳුන්වා දුන්නා වුණත් ඔහු මෙසේ කවි ලියන්නට පෙර මේවා එංගලන්තය සහ අයර්ලන්තයේ ප්‍රචලිත ජන කවි විශේෂයක් හැටියට සැලකෙනව. ලිංගිකමය අන්තර්ගතයක් ඇති – දෙපිට කැපෙන වචන සහිත හාස්‍ය හෝ උපහාසය ජනිත කෙරෙන මුඛරි කවි ජාතියක්. ලියර්ගෙන් පස්සෙ මේ කවි කලාව තව තව දිශාවලට යොමු වුණා. ලිමෙරික් කවියේ තියෙන කැටි කරන ලද, ආකෘතික සීමා (මාත්‍රා, එළි සමය, පේළි ගණන) වඩාත් නිදහස් කරමින් මේ සම්ප්‍රදාය වර්ධනය වුණා. අප මෙහි භාවිත කරන ලියර්ගේ The Nonsense Books ඒ සඳහා හොඳම උදාහරණයක්. එහි එන්නේ ලිමරික් කවි මෙන්ම එහි මූලික ලක්ෂණ ඇති එහෙත් ආකෘතිකව යම් යම් වෙනස්කම් ඇති කවි සහ ඉතා කුඩා කතා. මේවා වචනවලින් අඳින එක්තරා කාටූන් විශේෂයක් කියන්නට පුළුවන්. ලියර් තමන්ගෙ කවි සහ කතාවලදි මිනිස්සු ගැන වගේම විවිධ සත්තු, බඩු මුට්ටු ආදිය ගැන ළමා මනසේ යථාර්ථයෙන් ලිව්වා. ඔහු ඉංග්‍රීසි හෝඩිය ගැනත් මෙසේ කවි ලියා තියෙනව. ඒ වගේම අප භාවිත කරන පුටුව, කුඩය වැනි කුඩා දෙයක් පිළිබඳ අර ලිමරික් පන්නයේ කවි ලියනව. විවිධ විකල්ප අර්ථ මතු කෙරෙන රචනා බොහෝ මේ කෘතිය එනව. තරමක් දිග ලිමෙරික් පන්නයේ කෙටිකතා තමයි මේ කෘතියේ මා වඩාත් ප්‍රිය. ඒවා මෙහි යළි ලියන්නට ඉඩ මදි. ජන සම්ප්‍රදායේ එන ලිමෙරික් කිසියම් ලිංගික රසයක් මවන දෙපිට කැපෙන මුඛරි කියමන් සහිත ඒවා. ලියර්ගේ පොතෙත් එවැනි කවි සහ කතා එනව. සමහර නිර්මාණවල සිංහලෙන් කියන විට අසභ්‍ය සේ ගැණෙන වචන යෙදෙනව. මේ කවි ගැන කතා කරන විචාරකයො සාමාන්‍යයෙන් මේ ශානරයේ හොඳම වියමන් සේ සලකන බොහෝ නිර්මාණ මේ කියන මෙහි ලිවීමට අපහසු ඒවා. ඉන්ටර්නෙට් එකෙන් ඔබට හොයාගන්න පහසුයි. ලියර් තම කවි සහ කතා හඳුන්වන්නෙ Nonsense poetry කියල. අප මෙහි මුල සිට කියූ මුඛරි හෝ කටවාචාල බව, අර්ථ විරහිත බව, මල විකාර බව, මෝඩපහේ බව ආදී හැමදේම නොන්සන්ස් වචනයේ එනව. මේ කවි කලාවේ වැදගත්ම ගුණය ඒ -නොන්සන්ස් බව- වෙන්න පුළුවන්. හැබැයි එය නොන් – සෙන්ස් නෙමෙයි. මේ කවිවල ප්‍රධාන කාර්යයම සෙන්ස් එකක් ඇති කරන එකම තමයි. රිද්මයත් ඒකට උදව්වක්. ඒ ඇති කරන නුපුරුදු -සෙන්ස්- එක තමයි මෙහි කාව්‍යාත්මක කවුළුව. කාව්‍යමය කාර්යය සිද්ධ වෙන්නෙ මේ නුපුරුදු සෙන්ස් එක ඔස්සේ සිතීමෙන්. අපේ දෛනික ජීවිතයට, සමාජ සම්මතයට පරස්පර, මෝඩපහේ ලියවිලි මෙන් පෙනෙන මේ නිර්මාණ අපේ සමාජයේ නොයෙක් ගැඹුරු ව්‍යුහමය ගොඩනැංවීම් වෙත සියුම් විවේචනයක්, උපහාසයක් ගෙනෙන බව ටිකක් පරෙස්සමෙන් කියෙව්වම පෙනෙනව. විටෙක ඒ සෝපහාසවත් රචනා යථාර්ථවාදී ලෝකය තුළ සාමාන්‍යකරණය වී ඇති – විකෘතිතා පිළිබඳ රූපක ගොඩනගනව. ළමා මනසින් ලොව දැකීම මගින් අපූරු කාව්‍ය රූපක තනන සෙල්ලම් ගුණය ඇති රචනා විශේෂයක් මේ කවි.

මේ ලිමෙරික් සහ නොන්සන්ස් සම්ප්‍රදායේ එන ළමාමය බව සහ විහිළුව ඇතුළු ලක්ෂණ තමන්ගෙ නිර්මාණකරණය වෙත ආභාසය කරගත් බොහෝ ලේඛකයො ඉන්නව. ලෙවිස් කැරොල් (Lewis Carroll), ඩබ්.එස්. ගිල්බර්ට් (W.S. Gilbert), එච්. ජී. වේල්ස් (H.G. Wells), මෙන්ම රිඩ්යාඩ් කිප්ලිං (Rudyard Kipling), නෝමන් ඩග්ලස් (Norman Douglas) වැනි බොහෝ ලේඛකයන් මේ සම්ප්‍රදාය අනුගමනය කළා. මේ සමහර ලේඛකයන් ලිමෙරික් කවි ලෙස ලියා ඇතිවාක් මෙන්ම ඒ අයගෙ ලේඛනවල මේ කවිවල පැනෙන ළමාමය යථාර්ථය ඉතා සූක්ෂ්ම ලෙස භාවිත කළා. ජනප්‍රිය ඇමෙරිකානු නවකතාකරු මාර්ක් ට්වේන් (Mark Twain) මේ ලිමෙරික්වලට බෙහෙවින් සමාන (limerick-like) රචනා කිහිපයක් ලියා ඇතිවාක් පමණක් නෙමෙයි ඔහුගේ බොහෝ නිර්මාණවල මේ ගුණය අඩංගුයි කියන්න පුළුවන්. ඔහු මා මේ කියන ලිමරික්මය ගුණය මගින් විශිෂ්ට සාහිත්යික බවක් වියමන් කළ මා කැමතිම අය අතර ඉන්නෙ.

මේ ලිමරික් කවිවල අභාෂයෙන් ගොඩනැගුණු තවත් උප සම්ප්‍රදායන් තියෙනව. ඒ අතරින් එකක් තමයි ලිමෙරයිකු (Limeraiku). එය ලිමරික් සහ හයිකු යන සම්ප්‍රදායන් දෙකේ මිශ්‍රණයක්. මේවා ගැන දිගු සංවාද කරන්නට මේ ඉඩ නොවෙතත් මේ නිකමට මෙන් එකක් දෙකක්.

There’s a vile old man
Of Japan who roars at whores:
“Where’s your bloody fan?”
(Ted Pauker)

There’s a cut-price whore
Of Cawnpore who hails all males:
‘Bed, Mattress – or Floor?’
(Pascoe Polglaze)

There’s a man at Crewe
station who buggers muggers
so well there’s a queue.
(E. O. Parrott)

ලිමෙරික් මෙන් (limerick-like) රචනා විධිවල ඇති කවිතාව කුමක්ද, ඒවායෙහි යම් කාව්‍යාත්මක සාරයක් තිබේද,එම පඨිත මත පැනෙන කාව්‍යමය ක්‍රියාකාරීත්වය කුමක්ද යන ප්‍රශ්න අතර විවේකයෙන් තාවර වෙන්නට මෙතැන ඉඩ නැතත්, අර සටහන ලියන තුරු, මම යළි කුසල් කුරවිටගේ අර ප්‍රසිද්ධ කවිය ලියා බලමි. කුසල් ලිමෙරික් කවියෙක් නොවුණද, ඒ ලිමෙරික්-ආර ඉතා සූක්ෂම ලෙස සිය ලිවීම තුළ සංයෝජනය කරමින් තමාටම අනන්‍ය කවි මගක් තනන ලේඛකයෙක් කිරුළුකෝලයේ ඉන්නා බව මට සිතේ.

නිදහසේ දුවන සිංහයගෙ
කකුලක් කපනු වෙනුවට
කඩුවක් අතට දෙන එක
මොන තරම් පහසුයිද?

Leave a Reply