සුළි කුණාටුවෙන් පසු: මනෝ-කම්පන, සමාජ මාධ්‍ය සහ එහෙ-මෙහෙ දුවන අපි

After the Cyclonic Ditwah: Trauma, Social Media, and Our Lives in Motion

As human beings we belong to an extremely resilient species. Since time immemorial we have rebounded from our relentless wars, countless disasters (both natural and man-made), and the violence and betrayal in our own lives. But traumatic experiences do leave traces, whether on a large scale (on our histories and cultures) or close to home, on our families, with dark secrets being imperceptibly passed down through generations. They also leave traces on our minds and emotions, on our capacity for joy and intimacy, and even on our biology and immune systems.

(Bessel A. Van de Kolk. The Body Keeps The Score: Brain, Mind, and Body in the Healing of Trauma, New York: Penguin, 2015. 1)

මෙම රචනයේ අරමුණ වන්නේ පසුගිය නොවැම්බර් මස අග ශ්‍රී ලංකාවේ හටගත් දිට්වා(Ditwah) සුළි කුණාටුව හේතුවෙන් රට පුරා ඇති වූ වර්ෂාව, ගංවතුර සහ නායයාම් ආදිය මගින් ඇති කළ හදිසි විනාශකාරී තත්ත්වය නිසා කම්පනයට ලක් වූ ලාංකික මහජන ජීවිතය සහ සමාජ මාධ්‍ය භාවිතය අතර සම්බන්ධය පිළිබඳ ආවර්ජනයක යෙදීමයි. එය, සමාජ මාධ්‍ය යුගයේදී මෙවැනි ආපදාවලට ප්‍රතිචාර ලෙස ක්‍රියා කළ හැකි ආකාර – සමාජ මාධ්‍ය විභවතා මොනවාද, මෙවැනි අවස්ථාවල අප අතර සමාජ මාධ්‍ය සැබවින්ම භාවිත වන ආකාරය සහ එහි තත්ත්වය කෙබඳුද? සමාජ මාධ්‍ය සහ මහජන ජීවිතයේ කම්පනය අතර ඇත්තේ කිනම් සම්බන්ධයක්ද යන ප්‍රශ්න වෙත විචාරාත්මකව එළඹෙයි.

ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන තොරතුරු අනුව දෙසැම්බර් 17වනදා වන විට රට පුරා පවුල් 490,385ක පුද්ගලයින් මිලියන 1.7ක් සුළි කුණාටුව නිසා ආපදාවට ලක්ව සිටිති. පුද්ගලයන් 643ක් මිය ගොස් 183ක් අතුරුදහන්ව ඇැතැයි ඉන් කියැවෙයි. 6228කට අධික නිවාස සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී ඇති අතර ලක්ෂයකට අධික නිවාස ප්‍රමාණයක් විවිධ මට්ටමින් ආපදාවට ලක් වී තිබේ. රජය විසින් පවත්වාගෙන යන තාවකාලික ආපදා මධ්‍යස්ථානවල තවමත් පුද්ගලයන් 66000කට අධික ප්‍රමාණයක් රැඳී සිටිති. (Disaster Management Centre (Sri Lanka). Situation Report on the Impact of Cyclone Ditwah. 17 December 2025, 1600 hrs. Colombo: DMC.) ඉහත තොරතුරු මගින් දිට්වා සුළි කුණාටුව මගින් ලංකාවේ මහජන ජීවිතය අඩාල කොට – අවතැන් කොට ඇති ආකාරය තක්සේරු කළද එය ආපදාවේ කම්පනය පිළිබඳ සම්පූර්ණ චිත්‍රය නොවේ. ඉහත දත්තවල පෙනෙන පුද්ගල-දේපළ අහිමිවීම් මගින් තනි පුද්ගලයන් තුළත් සාමූහික විඥානය තුළත් ඇති කළ කම්පනය ගණනය කළ නොහැකිය. කුණාටුවෙන් පසු හානියට පත් භෞතික දේපළ පිළිසකර කෙරෙන – යථා තත්ත්වයට පත් කරන නොයෙක් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. ඒ අතර සුළි කුණාටුව මගින් මහජන ජීවිතය තුළ ඇති කළ තිගැස්ම, තැතිගැන්ම, කම්පනය වඩාත් පැහැදිලිව කියන්නේ නම් කම්පිත වස්තුව (traumatic subject matter) ගැන අවධානය ඉතා අඩුවෙන් යොමු වෙන බව පෙනේ. අවතැන් වූ පුද්ගලයන්ගේ මානසික තුවාල මෙන්ම සමස්තයක් ලෙස ලාංකික ජන විඥානය තුළ ඇති කළ කම්පනය වටහාගන්නට අපි  කම්පන න්‍යායෙහි මූලික සංකල්ප කිහිපයක් වෙත එලඹෙමු. 

මනෝ-කම්පන න්‍යාය (Trauma Theory)

මා මෙහි කම්පනය යන වචනය යොදන්නේ ඉංග්‍රීසියෙන් trauma යන අර්ථයෙනි. ඇතැම් අය ඒ සඳහා ක්ෂතිය යන වචනය යෙදීම සුදුසු බව කියන්නට ඉඩ ඇතත් කම්පනය යන සිංහල වචනය එම සංසිද්ධියෙහි ස්වභාවය මැනවින් අඩංගු කරගන්නා බව මට සිතේ. Trauma යන්න තුවාලය හෙවත්  wound යන අර්ථය දෙන ග්‍රීක වචනයකින් ගොඩනැගුණු සංකල්පයකි. මෙම න්‍යාය විශේෂයෙන්ම පුද්ගලයකුට ඇතිවන මානසික තුවාල (psychic wound) මුල් කරගෙන මනෝවිද්‍යාව, මනෝවිශ්ලේෂණය ආශ්‍රයෙන් වර්ධනය විය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ Beyond the Pleasure Principle (1920) කෘතියේ අදහස් මුල් කරගෙන පසුකාලීන මනෝවිද්‍යාඥයින්, චිකිත්සකයින් අතින් මෙම සංකල්ප වර්ධනය විය. පළමු ලෝක යුද්ධය, දෙවැනි ලෝක යුද්ධය සහ සමූල ඝාතන, වියට්නාම් යුද්ධය ආදිය පිළිබඳ නොයෙක් අධ්‍යයන මගින් විසිවන සියවසේ අග භාගයේදී මෙම සම්භාව්‍ය මනෝ කම්පන න්‍යාය ප්‍රචලිත විය. විශේෂයෙන්ම 1990න් පසු එය සාහිත්‍ය න්‍යායක් ලෙසද වර්ධනය විය. 

මානසික තුවාලයක්, කම්පනයක් ඇති වන්නේ කිසියම් අනපේක්ෂිත අනතුරකිනි. එය වින්දිතයාගේ පාලනයෙන් ඔබ්බෙහි පවතින, නොවැළැක්විය හැකි එමෙන්ම දරාගත නොහැකි අත්දැකීමකි. කම්පනය නම් විෂයෙහි වින්දිතයා (traumatic subject) වන්නේ කිසියම් අබග්ගයකට ලක්වන පුද්ගලයා නොවේ. ඉන් ගැලවෙන පුද්ගලයාය. අබග්ගය සියැසින් දකින පුද්ගලයාය. මනුෂ්‍ය ඉතිහාසයේ ආරම්භයේ පටන්ම මෙවැනි ව්‍යසන – කම්පන අත්දැකීම්වල නිමක් නැත. එහෙත් 19වන සියවසේ කාර්මිකකරණයේ ප්‍රතිඵල ලෙස ආ ඇතැම් මිනිස් කම්පන සහ විසිවන සියවසේ සිදු වූ ලෝක යුද්ධ වැනි මහා මිනිස් ඛේදවාචකවලින් බැට කෑ මිනිසුන් විෂය කරගෙන ඔවුන්ගේ  මනස ක්‍රියාකරන ආකාරය (traumatic neuroses) පිළිබඳ නොයෙක් සායනික පර්යේෂණ සිදු විය. 

මේ සායනික පර්යේෂණ ඇසුරින් 1980දී ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය (American Psychiatric Association) විසින් ප්‍රකාශ කළ Diagnostic and Statistical Manual of Mental Disorders (DSM-III  මගින් නිල වශයෙන් Post-Traumatic Stress Disorder පිළිබඳ අනාවරණය කෙරිණි. PTSD යනුවෙන් ප්‍රචලිත වී ඇත්තේ මෙයයි. යුද්ධයෙන් බැට කෑ සෙබළුන්, ඔවුන්ගේ බිරින්දෑවරුන්, දරුවන් වැනි අයගේ මානසික කම්පන පදනම් කරගෙන මේ පර්යේෂණ ආරම්භ කෙරුණද සමකාලීන පර්යේෂණ මගින් ස්වභාවික ආපදා, ලිංගික හිංසන, ගෘහස්ථ හිංසන, දේශපාලන කැරළි, ත්‍රස්තවාදය ඇතුළු නොයෙක් සාමූහික මිනිස් ව්‍යසන හේතුවෙන් පුද්ගල මනසෙහි ඇති කරන තුවාල, කම්පන පිළිබඳ අවධානය යොමු වී තිබේ. Post Traumatic Stress Disorder යනු කිසියම් ව්‍යසනකාරී අවස්ථාවකට මුහුණදීමෙන් පසු පුද්ගලයෙකුගේ මනසෙහි ඇතිවන කම්පාකාරී – පීඩිත – අක්‍රමවත්භාවයයි. එය සිහිසුන් හෝ සිහිමද තත්ත්වයක් විය හැකිය. තමාගේ තමාගේ පාලනයෙන් තොර විකාරරූපී ප්‍රපංචයකි. PTSD යනු වැඩිදෙනෙක් සිංහලෙන් ‘පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව’ හඳුන්වන බව ඉසුරු චාමර සෝමවීර සිය ෆේස්බුක් සටහනක ලියා තිබුණේය. මෙම සුළි කුණාටු කම්පනය නිසා අප කා තුළත් ඇති විය හැකි මේ PTSD තත්ත්වයෙහි ලක්ෂණ ඔහු ඉතා නිවැරදිව විස්තර කරයි.

“නින්ද නොයාම, තැත්ගැන්ම, යම් ස්ථාන හෝ සිද්ධි ( මුල් සිදුවීම හා සම්බන්ධ) කෙරේ දක්වන බිය. උදාහරණ – ජලයට, ගස් වලට, කඳු සහිත මාර්ග වලට, ගංගා වලට. නොසන්සුන් ගතිය, නිතර බියකරු සිහින දැකීම, වගේ සරල තත්වයන් වල ඉදලා කායික ආබාධ ලෙස මතුවන මානසික ගැටළු දක්වා සංකීර්ණ පරාසයක මේ තත්ත්වය තියෙන්න පුළුවන්. මේ විතරක් නෙමේ සමීපතමයන් , දේපල, රැකියා අහිමිවීම් හරහා මිනිස්සුන්ට නොයෙක් මානසික ගැටළු එන්න පුළුවන් විශාදය වගේ තත්වයකට වුණත් ඒව හේතු වෙන්න පුළුවන් බවට ඕනේ තරම් උදාහරණ තියනවා. මේ නිසා පුද්ගලයෙකුට සතුට, වෘත්තීයමය සහ සමාජ ජීවිතය අහිමි වෙන්න වුණත් පුළුවන්. ඒත් මේ තත්වය නිසි පරිදි හඳුනා ගැනම තුළින් ඉතා හොඳින් විසඳා ගත හැකි තත්ත්වයක්.” (ඉසුරු සෝමවීර, ෆේස්බුක් පිටුව, නොවැ. 30)

සෝමවීරගේ ඉතා වැදගත් සටහනෙන් පෙන්වාදෙන පරිදි මෙවැනි රෝග ලක්ෂණ ඇතිවන විට සායනික ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසු පිළියමකි. නමුත් මේ රචනය පදනම් වන්නේ ඒක ප්‍රද්ගල මනෝ-කම්පන සුවපත් කරන වෙවද්‍ය-සායනික ප්‍රතිකර්ම පිළිබඳ ප්‍රවේශයට වඩා සංස්කෘතිය නම් අඩවිය තුළ මෙවැනි කම්පන ඇතිකරන බලපෑම පිළිබඳ කතිකාව වෙතය. මනෝ-කම්පන අධ්‍යයන සිග්මන් ෆ්‍රොයිඩ්ගේ ඒක පුද්ගල මනසෙහි ඇති වන කම්පන ස්වභාවය පදනම් කරගෙන සිදු කළ පර්යේෂණ මත පදනම් වුවද අද වන විට මේ කම්පන ඒක පුද්ගල සංසිද්ධියක් පමණක් නොව සමාජීය සහ සංස්කෘතිකමය වශයෙන් සමාජය දේහය පුරා පැතිර යන තත්ත්වයක් බව වටහාගෙන තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය යුගයකදී මනෝ-කම්පන වේගයෙන් සමාජ දේහය පුරා ඔඩු දුවයි. මේ පිළිබඳ අන්තර්සංවාදය පිණිස අපි මෙම න්‍යායෙහි එන ප්‍රධාන සංකල්ප කිහිපයක් වෙත අපි සැකෙවින් පිවිසෙමු.

Absence, Unspeakability, Belatedness, and Repetition

කිසියම් දැඩි කම්පනයකට හසු වූ විට අප තුළ ඇති කෙරෙන තිගැස්ම අප, අප තුළම ගල්කරවන තත්ත්වයකි. අපට අදහාගත නොහැකි අත්දැකීමක් බැවිනි. සිදු වූ දේ කියාගන්නට බැරිකම අප සැවොම අඩු වැඩි වශයෙන් අත්දැක ඇති යථාර්ථයකි. අප තුළ ඇති කෙරෙන මේ ව්‍යාකූලබවින් මිදෙන්නට අප තුළ සහජ වුවමනාවක් උපදියි. එහෙත් එය ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයකි. “මුකුත් නෙමෙයි මට ඕනෙ දැන් කෑගහල හයියෙන් අඬන්න විතරයි” වැනි ප්‍රකාශන එන්නේ මේ කම්පනයේ ස්වභාවය නිසාය. මේ මනෝ-කම්පනවල ස්වභාවය නම් ඉන් ගැලවෙන්නට ඒ “පීඩනය” පිට කළ යුතු වීමයි. යටපත් කොට හෝ අමතක කොට අපට කම්පනයෙන් ගැලවෙන්නට පුළුවන්කමක් නැත. ඒ නිසා කම්පනය විසින් එය කියන්නට සහජ පෙළඹුමක්ද ඇති කරයි. එහෙත් මේ සියල්ල අවිඥානක ක්‍රියාවලියකි. මනෝ-කම්පනය මෙවැනි උභතෝකෝටිකයකි. කම්පන අත්දැකීම් සහ සමාජ මාධ්‍යය එක අවකාශයක මුණගැසීම මගින් ඇති කෙරෙන තත්ත්වය පිළිබඳ අන්තර්දෘෂ්ටීන් සැපයෙන මනෝ-කම්පන න්‍යායෙහි මූලික සංකල්පයක් වන Repetition හෙවත් කම්පනයෙහි පුනරුක්ති ස්වභාවය පිළිබඳ අදහස වෙත යමු. 

මේ පිළිබඳ ප්‍රමුඛ න්‍යායවේදිනියක් වන කැතී කැරුත් සිය Unclaimed Experience: Trauma, Narrative, and History. (1996) නම් කෘතියෙහිදී මෙවැනි මනෝ-කම්පනය ස්වභාවය විස්තර කරමින් සිග්මන් ෆ්‍රොයිඩ් ඔහුගෙ Beyond the Pleasure Principle කෘතියේ කම්පන/ක්ෂතිමය අත්දැකීම විස්තර කිරීම පිණිස භාවිත කළ රොමැන්ටික වීරකාව්‍ය උපුටාදක්වයි.  මේ කතාවට අනුව, එහි වීරයා වන ට්‍රැන්කෙඩ්, දරුණු යුද්ධයක පැටලී සිටින අතර යුදබිමේදී සිදුවන අහඹු අත්වැරැද්දකින් තමන්ගෙ පෙම්වතිය, ක්ලොරින්ඩා මරණයට පත් වෙයි. දැඩි මනෝ-කම්පනයකට ඇද වැටෙන ඔහු අවසිහියෙන්ම ඇයව භූමිදාන කිරීමෙන් පසු මායාකාර වනාන්තරයකට ගොස් තම සතුරන්ට අභියෝග කරයි. සතුරන් බිය වැද්දීම පිණිස මායාකාර වනාන්තරයේ උසම ගසකට නැග තම කඩුවෙන් ගසේ අත්තකට කොටමින් කඩුව වනමින් ඔහු සතුරන්ට කෑමොරදෙයි. කඩු පහර ලද ගසේ අතු අගින් රුධිරය ගලන්නට පටන්ගනියි. ගසෙහි අරටුව තුළා කිඳා බැසගත් සිය පෙම්වතිය, ක්ලොරින්ඩාගේ ආත්මයේ හඬ ඔහුට ඇසෙන්නට වෙයි, ඔහු විසින් නැවතත් ඇයව තුවාල කළ බව මුමුණමින් ඇගේ ආත්මය  විලාප දෙන හඬකි ඒ. (Caruth, p. 2)

ඉතාලි වීර කාව්‍ය රචකයෙකු වන තසෝගේ කාව්‍යයක එන මේ කතාව ෆ්‍රොයිඩ් භාවිත කරන්නේ මානසික කම්පනයකින් පසු පුද්ගලයෙකුගේ අතිශය සංකීර්ණ මානසික ස්වභාවය පැහැදිලි කිරීමටයි. එවැනි කම්පක සිදුවීමකින් පසු එහි කම්පනය නැවත නැවත ප්‍රතිනිර්මාණය වන ආකාරය විස්තර කරයි. ෆ්‍රොයිඩ්ගේ තර්කය වන්නේ මෙවැනි කම්පක සිදුවීමකින් පසු පුන පුනා කම්පනයට ලක්වීම ඒ කම්පනයේම උරුමයක් බවයි. අපට කම්පනයට ප්‍රතිචාර දැක්විය යුතු වුවත් එය අපේ පාලනයෙන් තොර තත්ත්වයක් නිසා අප කම්පනයට ප්‍රතිචාර ලෙස සිදු කරන  ප්‍රතික්‍රියා මගින්ද අප විසින්ම ඒ කම්පනය නැවත නැවත ඇති කරයි. සුළි කුණාටුව පටන්ගත් දා සිට ඇති වූ ව්‍යසන අත්දැකීම් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ආකාරය මගින් ඒ මනෝ-කම්පන නැවත නැවත ඇති කළ සැටි ගැන උදාහරණ හිඟ නැත. මනෝ-කම්පන පිළිබඳ ආචාරධාර්මික ප්‍රවේශයක් ගන්නා මේ රචනය එවැනි උදාහරණ උපුටාදක්වමින් පැහැදිලි කරන්නට නොයයි.

පසු කම්පන තත්ත්වයකදී පුද්ගලයෙකුගේ සහ සමාජයක ක්‍රියාකාරීත්වය වටහාගැනීමට ඩොමිනික් ලාකප්රා (Dominick LaCapra) සියWriting History, Writing Trauma (2001) නම් කෘතියෙහි Acting out සහ Working through නම් සංකල්පයක් ඉදිරිපත් කළේය. මෙය ෆ්‍රොයිඩ්ගේ අදහස්වල දිගුවකි. එහිදී මනෝ-කම්පනයෙන් පසුවන පුද්ගලයා (subject) තවමත් අතීත-කම්පක-සිදුවීම සමග අත්‍යන්තයෙන් බැඳී සිටියි. “performatively caught up in the compulsive repetition of traumatic scenes” in which temporal boundaries collapse and “tenses implode” (LaCapra 2001, 21–22). In such moments, the distinction between past and present disintegrates, generating aporias, double binds, and states of confusion that hinder ethical judgment or historical orientation.

එහෙත් working through යනු කම්පාවෙන් සුවපත් වෙන භාවිතයකි. අතීත සිදුවීමෙහිම එල්බ නොසිට -ඊඟට කුමක් වේද- යන වර්තමාන ප්‍රශ්නය වෙත එළඹීමකි. මෙහදී ඔහු/ඇය මේ තත්ත්වය පිළිබඳ විචාරාත්මකව සිතන්නට, වැළපෙන්නට, සහ අනාගතය ගැන සිතන්නට පටන්ගනියි. මෙය මනෝ-කම්පන අවස්ථාවෙන් මූලික වශයෙන් වෙන්වීමකි (LaCapra 2001, 22). අතීතය-වර්තමානය-අනාගතය පිළිබඳ කිසියම් සවිඥානක එළමුඹක් මෙහි තිබේ. කම්පනයෙන් (trauma) සුවපත් වීමට අප ඒ ඔස්සේ ඉදිරියට ගමන් කළ යුතුය. කම්පනයට ලක් වූ පසු එය කියාගන්නට බැරිකම මෙන්ම එය මතක් කරන්නට හෝ අකමැති තරම් අමිහිරි බව එහි ස්වභාවයකි. ඒ නොකියන- අමතක කරන්නට උත්සාහකිරීම නිසාම කම්පනය යළි යළි ප්‍රතිරාවය වෙයි. වැළපීම මෙන්ම කම්පක සිදුවීම සහ ඒ කම්පනයෙහි තරම කාට හෝ ප්‍රකාශ කිරීම ඒ කම්පනය හරහා ගමන්කිරීමේ (work through) මූලික පියවර වෙයි. කම්පනයෙන් මිදීම හෝ සුවපත් වීම සඳහා පියවර ගන්නා කාලය න්‍යායික අර්ථයෙන් Post Traumatic Growth අවධිය ලෙස සැලකිය හැකිය. කම්පන අත්දැකීම් අනෙක් අය හා බෙදාහදාගැනීම, සාමූහිකව වැළපීම ආදිය සුවපත්වීමේ ඉතා ප්‍රතිඵලදායක ප්‍රවේශ බවත් ඒවායෙහි නොයෙක් මනෝචිකිත්සක සහ ආචාරධාර්මික ආකාර පිළිබඳවත් මනෝ-කම්පන සාහිත්‍ය න්‍යායෙහි දීර්ඝ වශයෙන් විස්තර කෙරෙයි. එහෙත් මෙය අපට ඒවා පිළිබඳ න්‍යායික සංවාද කරන්නට ඉඩක් නොවේ. අපි දැන් සුළි කුණාටු කම්පනය සහ සමාජ මාධ්‍යය භාවිතය පිළිබඳ තේමාව වෙත එමු.

සුළි කුණාටුව, මනෝ-කම්පන සහ සමාජ මාධ්‍යය

කම්පක සිදුවීමක් යනු හුදු ඒක පුද්ගල සංසිද්ධියක් නොව එය දකින, අසන, ඒ වටා සිටින කාටත් බලපාන බෝ වන තත්ත්වයක් බව අප මුලදී කීවෙමු. ගෝලීය සමාජ මාධ්‍යයක යුගයක මේ තත්ත්වය වඩාත් සංකීර්ණ වී තිබේ. දිට්වා-ලංකා කම්පාව වෙත එළඹෙන්නට පෙර මෙවැනි ස්වභාවික ආපදා සහ සමාජ මාධ්‍ය භාවිත පිළිබඳ ලෝක අත්දැකීම කෙබඳද මදක් විමසමු.

කැමිලා ඊ. යන්ග් සහ තවත් අය විසින් සංස්කරණය කළ A Review of Social Media Use During Disaster Response and Recovery Phase නමින් ලේඛනයක් National Institute of Standards and Technology Technical Note 2086 ලෙස 2020 ඇමෙරිකාවේදී පළ විය. ඇමෙරිකාව කාලයක් තිස්සේ ටොනේඩෝ, ලැව්ලිනි වැනි ස්වභාවික ආපදාවලින් නිතර පීඩාවට පත්වන රටක් බව අපි දනිමු. මේ තාක්ෂණික ලේඛනය ඇමෙරිකාවේ සිදු වන ස්වභාවික ආපදාවලදී ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය සහ ඒවායෙහි සමාජ අදාළත්වය පමණක් කේන්ද්‍රකරගෙන සිදු කෙරුණු පර්යේෂණයක් නොව බටහිර, පෙරදිග, මැදපෙරදිග ආදී ලොව පුරා විවිධ රටවල ඇති වූ ලැව්ගිනි,  භූමි කම්පා, සුළි කුණාටු, සුනාමි, ටොනේඩෝ සහ ගංවතුර ආදී නොයෙක් ස්වභාවික ආපදාවලදී තාක්ෂණික වශයෙන් සමාජ මාධ්‍යයට කළ හැක්කේ මොනවාද සහ ඒ ඒ රටවල එවැනි අත්දැකීම්වලදී සමාජ මාධ්‍ය භාවිත කොට ඇත්තේ කෙසේද සහ ඒවායේ බලපෑම් මොනවාද යන ප්‍රශ්න මුල් කරගෙන විවිධ පර්යේෂකයන් විසින් සිදු කළ අධ්‍යයන ඇසුරින් සංස්කරණය කළ ලේඛනයකි. 

සමාජ මාධ්‍ය යනු මිනිසුන් හමුවන, කතාබහ කරන, විවිධ ආකාරයේ සම්බන්ධතා නඩත්තු කරන පරිගණක ජාලයකින් පාලනය වන තථ්‍ය-සම අවකාශයකි. සාමාන්‍ය ජන ජීවිතය තුළ සමාජ මාධ්‍ය පරිහරණය කිරීමට වඩා විශාල ප්‍රතිශතයකින් මෙවැනි ආපදා අවස්ථාවල එහි භාවිතය ඉහළ යන බව පොදු නිරීක්ෂණයකි. (පි. 5) එමෙන්ම සමාජ මාධ්‍ය භාවිතය නිසාම ආපදාවට ලක්වන අයට සහ පොදු සිවිල් වැසියන්ට මෙවැනි ආපදාවලට ප්‍රතිචාර දැක්වීම සහ යථාකරණ (recovery) – යළි ගොඩනැංවීමේ වැඩපිළිවෙලවලදී සක්‍රීය භූමිකාවක් කිරීමට ඉඩ සලසන බවත් ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය මගින්ම දිරිගැන්වෙන බවත් පැහැදිලිය. (පි. 10)

මෙවැනි ස්වභාවික විපත්වලදී ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, යූටියුබ් වැනි සමාජ මාධ්‍යයට තාක්ෂණික වශයෙන් මැදිහත්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ ඔවුන් ප්‍රධාන සංරචක 4ක් ඉදිරිපත් කරනු ලබයි. (පි. 4) එය මූලික වශයෙන් ආපදා කළමනාකරණය (disaster management) කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකි.

  1. Safety Check
  2. Community Help
  3. Fundraisers
  4. Crisis Response

කිසියම් ආපදාවක් සිදුවෙමින් පවතින අවස්ථාවක පවා තමා ආරක්ෂිත බව තම මිතුරු සමූහය වෙත නිවේදනය කරන්නට ෆේස්බුක් පරිශීලකයෙකුට අවස්ථාව ලැබේ. ඒ සඳහාම වෙන්වූ -ආරක්ෂිත බව තහවුරු කිරීමේ- ලින්ක් නිර්මාණය කෙරී තිබේ. Safety Check යනු මේ අවස්ථාවයි. අනෙක් අතට ෆේස්බුක් පරිශීලකයන්ට තම සමූහයේ සිටිනා අනෙක් අයගේ ජීවිත වෙත මැදිහත් වන්නට අවස්ථාව ලැබේ. තාවකාලික ඉඳුම්-හිටුම් සපයාදීම, ආහාර හෝ ප්‍රථමාධාර සැපයීම වැනි දේ මෙහි කියවෙන Community Help ආකාරයකි. ෆේස්බුක් පුරා අපි දකින තවත් වැදගත් අංගයක් නම් Fundraisers වේ. ආපදාවට ලක්වූවන් වෙත සහන සපයන නොයෙක් මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ව්‍යාපෘති සංවිධානය කිරීම වැනි මැදිහත්වීම් ෆේස්බුක් පරිශීලකයන්ට කළ හැකිය. පසුගිය ආපදා අවස්ථාවේ අප මෙවැනි මැදිහත්වීම් අතිවිශාල ලෙස දුටුවෙමු. මේ අතර ආපදාවට අදාළ සිදුවීම් වාර්තාකරණය, පුරෝකථන සිදු කිරීම ආදිය මුල් කරගත් පින්තූර, වීඩියෝ සහ විවිධ තොරතුරු එක තැනක සිට සන්නිවේදනය කිරීමේ අවස්ථාවක් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවලට තිබේ. 

සමාජ මාධ්‍යවලට මෙවැනි ආපදාවකදී මැදිහත්විය හැකි ඉහත ආකාර විභාග කරමින් ලෝකයේ විවිධ රටවල මෙවැනි ව්‍යසන සිදුවන විට ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ආපදාවලින් පසු යළි නඟාසිටුවීමේ ක්‍රියාවලියේදී සමාජ මාධ්‍ය වර්තමානයේ දායක වී ඇත්තේ කෙසේද යන ප්‍රශ්න වෙත එළඹෙයි. සමාජ මාධ්‍යයේ විභවතා සහ ඒවායෙහි ප්‍රායෝගික භාවිතය තුලනාත්මක ලෙස සලකාබැලීම ඉතා වැදගත්ය.

Current Formal Use of Social Media for Disaster Response

ආපදාවකදී හදිසි අවස්ථාවලට මුහුණදීමට සූදානම් වීම, හදිසි මැදිහත්වීම් සිදුකිරීම සඳහා සමාජ මාධ්‍ය නිල වශයෙන් භාවිත කෙරෙන අවස්ථා තිබේ. රාජ්‍ය නිලධාරීන්, හමුදාව, පොලීසිය, මාධ්‍යවේදීන් සහ ස්වේච්ඡා කණ්ඩායම් ඇතුළු  ආපදා කළමනාකරණයේ යෙදෙන ක්‍රියාකාරිකයන් තොරතුරු සන්නිවේදනය මුල් කරගෙන සමාජ මාධ්‍ය භාවිත කරති. මේ ලේඛනය පෙන්වාදෙන පරිදි බොහෝ රටවල ආපදා අවස්ථාවල සමාජ මාධ්‍ය හැසිරීම මගින් නිල වශයෙන් මෙසේ තොරතුරු සන්නිවේදනය කිරීම විශාල අභියෝගයක් වී ඇත. එහිදී බලපාන ප්‍රධාන බාධක 4ක් මෙහි පෙන්වාදෙනු ලැබේ.

  1. සමාජ මාධ්‍ය භාවිතය කිරීම සඳහා පවතින මාර්ගෝපදේශනවල දුර්වලතා.
  2. මෙවැනි අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිත කරන පුහුණු කාර්යමණ්ඩල, සහ භෞතික සම්පත්වල හිඟතාව.
  3. විවිධ මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ ගැටලුව. අවිශ්වසනීය බව.
  4. ඇතැම් තොරතුරු අසීමිත ලෙස සංසරණය වීම. (එකම පෝස්ට් එක මිලියණ ගණනින් ෂෙයා වෙමින් අවකාශය වසාගන්නා අවස්ථා තිබේ. එය අවශ්‍ය තොරතුරු බෙදාහැරීමේ අභියෝගයකි.)

මෙවැනි බාධක නිසා ආපදා කළමනාකරණයේ යෙදෙන අයට හදිසි නිවේදන බෙදාහැරීමට, යම් යම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට, මහජනතාවගේ ජීවිතය වෙත හදිසි මැදිහත්වීම් සිදුකිරීමේ අවස්ථා මගහැරෙයි. දිට්වා සුළි කුණාටුව පහව යන තෙක් අපේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ මිනිත්තු කිහිපයක ආවර්ජනයක යෙදීමෙන් ඔබටත් මෙවැනි බාධක අපට බලපෑ ආකාරය පිළිබඳ තක්සේරු කළ හැකිය.

ආපදා කළමනාකරණයේදී නිල වශයෙන් සමාජ මාධ්‍ය යොදාගැනීම මෙන්ම මහජන මැදිහත්වීම අතිශය වැදගත්ය. කාලෝචිතය. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවලට මෙවැනි අවස්ථාවල කළ හැක්කේ මොනවාද, එහි විභවතා මොනවාද යන්නට වඩා මේ කම්පනය වෙනුවෙන් වඩාත් වැදගත් වන්නේ, අප මේ කුණාටු වෙලාවල සමාජ මාධ්‍යයේ ඇත්තටම කරන්නේ මොනවාද යන්නයි. මේ ප්‍රශ්නය විශ්ලේෂණය කෙරෙන සාරාංශයක් පහත පින්තූරයෙහි දැක්වෙයි. අපි මදක් එය අධ්‍යයනය කරමු. 

මෙහි දැක්වෙන්නේ ආපදාවකදී විවිධ පුද්ගලයන්ගේ සමාජ මාධ්‍ය ප්‍රකාශන (පෝස්ට්ස්) ඇසුරින් ඒවා පිළිබඳ කළ වර්ගීකරණයකි.

  1. තමාගේ නැතිවුණු දේ, විශේෂයෙන්ම දේපළ වැනි දේ පිළිබඳ තොරතුරු ෂෙයා කරමින් ඒවා ගැන වධ වීම, ඒවා අයැද සිටීම.
  2. තමාගේ සමීපතමයන් ගැන විමසීම, සොයා දෙන ලෙස ඉල්ලීම, බිය ප්‍රකාශ කිරීම, තාවකාලික නිවාස, ඖෂධ ඉල්ලා සිටීම.
  3. අවකාශයේ සංසරණය වන විවිධ තොරතුරු හඳුනාගෙන ඒ ඒ ස්ථානවලට තමාට උදව් කළ හැකි බව ප්‍රකාශ කිරීම.
  4. ආපදාවන්ගේ නවතම තත්ත්වයන් විමසීම. ඊළඟ කුමක් වේද යන ප්‍රශ්නය.
  5. වැරදි තොරතුරු සමාජගත කරමින් තමාගේ වෙළඳ අරමුණු මුල් කරගෙන හෝ වෙනත් පටු වාසි මුල් කරගෙන සිදු කරන විවිධ ප්‍රකාශන.
  6. නිල වශයෙන් ආපදාවල ගැලවුම්කරුවන් ලෙස මැදිහත්වන අයට සහයෝගය පළ කරන, ඔවුන්ට උදව් කරන්නට මැදිහත් වෙන්නට සූදානම් බව ප්‍රකාශ කිරීම.
  7. ආපදාව ගැන ශෝකය පළ කරන, ආගමික යාඥා සිදු කරන, වන්දනා, පූජා සහ අභිචාර ආදිය මුල් කරගත් ප්‍රකාශන.
  8. ආපදා ස්ථානවලට යමින්, ඒවාට මැදිහත් වන සහ ඒවාට අදාළ තොරතුරු වාර්තා කරන පොලීසිය, මාධ්‍යෙව්දීන් වැනි අයගේ ප්‍රකාශන.
  9. තමාගේ අවහිරතා, ආපදා බිමේ සිදුවන ඇතැම් අසාධාරණකම් කියාපාන අවධානය ඉල්ලා සිටින ප්‍රකාශන.
  10. කෝපය හෝ කලකිරීම, ඉච්ඡාභංගය පළ කරන ආවේදනාත්මක සටහන්.
  11. ආපදාවට සෘජු සම්බන්ධයක් නැතිව පවා අදාළ ආපදාවේ තොරතුරු විනෝදයක් කරගෙන පළ කරන තමා සිටින ස්ථාන සහ නොයෙක් අනවශ්‍ය වැල්වටාරම්කාර ලියවිලි හෝ කියවිලි වීඩියෝ.‍

මා ඇමෙරිකාවේ සිටියත් සුළි කුණාටු දින කිහිපය පුරා ෆේස්බුක් එකට වී එහි සංසරණය වන තොරතුරු නිරීක්ෂණය කළෙමි. දින දෙකතුනක් නිවසේ අය හෝ වෙනත් සමීපතමයන් සමග කතා කරන්නට බැරි විය. සමාජ මාධ්‍ය නිසා ට්‍රෝමා අත්දැකීමක් – කම්පක සිදුවීමක්, ගෝලීය ප්‍රපංචයක් වන සැටි අත්විඳිමින් පෝස්ට්ස් සියගණනක් එකතු කළෙමි. ඉහත කියවෙන සෑම වර්ගයකම ප්‍රකාශන නිතර සංසරණය වුණු බව අපි දනිමු. ඉහත ඇතැම් වර්ගවල ප්‍රකාශනවලට අන්තර්සම්බන්ධයක් ඇති තම තම දේශපාලනික ආවේග පිට කරන, දේශපාලනික වාසි ඉලක්ක කරන සහ සමාජ මාධ්‍ය ප්‍රතිරූපය සිය ජීවනෝපාය කරගත් අයගේ වෙළඳ උපක්‍රම ලෙස පළ වෙන පෝස්ට්ස් ඇතුළු තවත් නොයෙක් වර්ගයේ ප්‍රකාශන සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. ආපදා කාලය අතරතුර පළ වූ මේ සියලු සමාජ මාධ්‍ය ප්‍රකාශන පාහේ කිසියම් ආකාරයකින් කුණාටුවේ මහා කම්පාව ප්‍රතිරාවය කරයි. එය නොවැළැක්විය හැකි යථාර්ථයකි. එය an era of acting out of trauma කියා හඳුන්වන්නට පුළුවන.

කුණාටුවෙන් පසු: PTG vs PTSD

(පද්මිණී ශ්‍රියාලතා, ෆේස්බුක් පිටුව, දෙසැම්බර් 08, 2025)

ශ්‍රියාලතාගේ මේ කවිය අප අත්විඳි ව්‍යසනය පිළිබඳ ගැඹුරු රූපකයකි. ඒ කන්ද නාය යාම සහ ඒ ඉතිහාස කතාව ව්‍යසනයේ සමස්තය මැනවින් හසුකර ගනියි. ඇය අවසානයේ අසන ප්‍රශ්නවලින් ට්‍රෝමාව හෙවත් කම්පනයේ ස්වභාවය කියාපායි. මනෝ-කම්පන න්‍යායේ විස්තර කෙරෙන ලෙස මෙය අපේ පාලනයෙන් තොර, සිදු දේ ගැන හෝ එය සිදු වූ සැටි අප නොදන්නා, අඩු තරමින් අපට වටහාගන්නට හෝ බැරි බව ඉඟි කරයි. මෙම කවියෙන්ද පෙනෙන එවැනි දැවැන්ත ආපදාවකින් පසු වින්දිත ප්‍රජාවකගේ ජීවන තත්ත්වය යථාත්ත්වයට පත් කිරීම, සුවපත් කිරීම, සංහිඳියාකරණය ඉතා දිගුකාලීන නැවත ගොඩනැංවීමේ ක්‍රියාවලියකි. මේ ක්‍රියාවලියේදී සමාජ මාධ්‍ය මැදිහත් වන ආකාරය වෙත තේමා තුනක් ඔස්සේ ඉහත ඇමෙරිකානු ලේඛනය අවධානය යොමු කරයි. (පි. 15-17)

  1. මානසික සෞඛ්‍ය සඳහා සමාජ මාධ්‍යය
  2. යළි නගාසිටුවීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය තක්සේරු කිරීම
  3. ආපදාවෙන් පසු මානව සම්බන්ධතා සංවර්ධනය සඳහා සමාජ මාධ්‍ය

ඇතැම් රටවල සිදු කළ පර්යේෂණ ඇසුරින් මෙවැනි ආපදාවලින් පසු එහි යථාතත්ත්වකරණ අවධිය තුළ කම්පිතයන්ගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතය සාධනීය ලෙස යොදාගත හැකි බව පෙන්වාදී තිබේ. (පි. 15) ගෙවුණු සති කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කම්පක අත්දැකීම සහ සමාජ මාධ්‍ය අතර සම්බන්ධය පිළිබඳ බැලූබැල්මටම පෙනෙන ඉතා සාධනීය මුහුණුවර – ආපදාවට ලක්වූවන්ට විවිධ ද්‍රව්‍යමය ආධාර සැපයීම මුල් කරගත් අද දක්වාම විහිදෙන නොයෙක් රාජ්‍ය සහ ස්වේච්ඡා සාමූහිකයන් නිර්මාණය වී තිබේ. ඒ කැපවුණු සියලු සමාජ මාධ්‍ය ව්‍යාපාර වෙත මෙම රචනයේ ගෞවරය පිදේ. ඒ ආධාර-උපකාර මෙවැනි ව්‍යසනයකදී වඩාත් වැදගත්ම මැදිහත්වීම් බවත් මෙවැනි ඛේදවාචකයක් මැද පවා මේ සමාජ මාධ්‍ය යුගය යනු, අප මානව ඉතිහාසය තුළ ලද සාමූහික ජයග්‍රහණයක් බවත් ඉතිහාසය විසින්ම සලකුණු කරනු ඇත. ඒවා අප මේ ව්‍යසනයේ කම්පාවෙන් මුදවන අපව යථා තත්ත්වයට පත්කරන – කම්පනය හරහා ගමන් කරන – work through – ව්‍යාපෘති වෙති. සමාජ මාධ්‍ය වෙත මේ ගෞරවයද ඇතිව අපි මදක් මනෝ-කම්පන න්‍යාය වෙත යළි පිවිසෙමු.

PTG සහ PTSD යන සංකල්ප දෙක අපි මේ රචනයෙහි මුල් කොටසෙහිදී සැකෙවින් විමසීමු. දිට්වා සුළි කුණාටුව වැනි රට-දැය සොලවාදමන මහා කම්පාවකට පසු ඒ ආපදාවට ලක් වූ අයට Post Traumatic Stress Disorder නැතිනම් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව ඇති වීම සාමාන්‍ය දෙයකි. නිතර බියට පත්වීම, අවදියෙන් සිටියදී පවා නපුරු සිහින පෙනීම වැනි දේ මෙවැනි අවස්ථාවක අසාමාන්‍ය දේ නොවේ.මේ අවස්ථාවේදී සිදු වන්නේ අප අතින් අවිඥානිකවම කම්පාව නැව නැවත අප ඉදිරියේ විද්‍යමාන වීමයි. එම කම්පාව නැවත නැවත සිදුවනු දැකීම අපේ අවිඥානක පෙළඹුමයි. ෆ්‍රොයිඩ් ට්‍රෝමාවක පුනරුක්ති ස්වභාවය විස්තර කරමින් ඉදිරිපත් කළ තසෝගේ වීර කව්‍යයේ එන උපමා කතාවේ මෙනි. ඒක පුද්ගල කම්පිත මිනිසෙකු සායනික ප්‍රතිකාර කොට සුවපත් කිරීමට වඩා මෙවැනි සාමූහික කම්පනවල තත්ත්වය ඉතා සංකීර්ණ වේ. මේ අප සාමූහික වශයෙන් අර කම්පාව act out කරන මොහොතකි. ආපදාවෙන් පසු භෞතික වශයෙන් සියල්ල කළමනාකරණය කරමින් තිබෙන අතරේ මේ සාමූහික (අ)විඥානය සුවපත් කෙරෙන, කුණාටුවේ කම්පනය හරහා ගමන් කොට ඉන් සමාජය මුදවන work through ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතුය. Post Traumatic Growth යනු එම මානයයි. කම්පිත ආත්මය විසින් සිය කම්පනය අනෙක් අය හා බෙදාගැනීම, වැළපීම සහ වෙනත් සංස්කෘතික අභිචාර ඇතුළු නොයෙක් දේ මෙයට අයත් වේ. කම්පනය අමතක කිරීම හෝ යටපත් කිරීම ඉන් මිදෙන සාර්ථක ක්‍රමයක් නොවේ. එය හරහා ඉදිරියට ගමන් කළ (work through) යුතුය. මෙය පරිවර්තනයේ අවධියකි.

සමාජ මාධ්‍ය තුළ අප විසින් කම්පනය යළි නිර්මාණය කරන(act out) සහ ඒ හරහා ඉදිරියට ගමන් කරන (work through) ප්‍රකාශන (posts/ status) සියදහස් ගණනින් පළ වෙන අවකාශයකි. නායගිය ගම්මාන, සමූහ මළ මිනී ඇතුළු නොයෙක් වර්ගයේ අමිහිවීම් පිළිබඳ හද කිළිපොළන ප්‍රකාශන බෙදාහැරේ. ඒවා විසින් සිදු කරන්නේ අවශ්‍යයෙන්ම මේ මහා කම්පනය නැවත ප්‍රතිනිර්මාණය කිරීමයි. එය ඒවා බෙදාහරින පුද්ගලයන්ගේ වරදක් ලෙස මම නොදකිමි. මේ කම්පාවන්ගේ ස්වභාවය ඒවා විසින් නැව නැවතත් කම්පාවම ඇති කිරීම බව අපි දනිමු. ෆේස්බුක් පුරා නිතර ඇසෙන්නේ ඒ කම්පාවේ දෝංකාරයයි. ඒ දෝංකාරය දෙන ප්‍රකාශන උදාහරණ ලෙස හෝ උපුටාගනිමින් මෙහි සංවාදයට ගැනීම ආචාරධාර්මික ප්‍රවේශයකියි මම නොසිතමි. කෙසේවෙතත් act out සහ work through කරන ආකාර ඉතා සුළු අත්දැකීම් සේ පෙනෙන ප්‍රකාශන මගින් පවා පැහැදිලි වන ආකාරය පෙන්වීම පිණිස සරල නිදසුන් දෙකක් පමණක් වෙත අවධානය යොමු කරමු.

මෙහි දර්ශන අශෝක කුමාරගේ ප්‍රකාශනය මනෝ-කම්පනය ප්‍රතිරාවය කරන PTSD ලක්ෂණයක් බව බැලූබැල්මටම පෙන්. එහෙත් දමිත් දහනායක ඒ කම්පාවෙන් වැළපෙන අතර මින් ඉදිරියට අප යා යුතු බව, අප work through කරමින් සිටින බව ඉඟි කරයි. මෙහි බෝනික්කා සහ මඩ පසුබිම ඉතා සංඥාර්ථවත් රූපයක් බව අපි දනිමු. මෙවැනි පඨිත මනෝ-කම්පන සාහිත්‍ය ඇසුරින් කියවන්නට මේ රචනයෙහි ඉඩ නැත. පසුගිය දිනෙක ‘සෙනෙහස නවාතැනක්‘ නමින් යුත් බෞද්ධ පැවදි රුවක් සහිත පින්තූරයක් සහිත ප්‍රොෆයිලයකින් –සසර බියකරු බව– නමින් ‘කැප්ෂන්’ එකක්ද සමග ගොඩනැගිලි කිහිපයක් අසල මහාමාර්ගයක, මඩ වළක ගොඩගසා ඇති මළමිනී කිහිපයක් අසල ගැවසෙන මිනිසුන් සමූහයක් පළ කොට තිබිණි.ඇතැම් ඒවා මිලියන ගණනින් අවධානයට පාත්‍ර වෙයි. කම්පාව යළි යළි එය විසින්ම බෝ කරන බව සමාජ මාධ්‍යය ඇසුරින් වටාහාගන්නට න්‍යායික මෙවලම් අවශ්‍ය නැති තරම්ය. අවාසනාවන්ත ලෙස මෙවැනි රචනයක උපුටාදැක්විය නොහැකි කුණාටුවේ මහා කම්පාව යළි යළි ඇති කරවන නොයෙක් ප්‍රකාශවලින් සමාජ මාධ්‍ය අවකාශය අඩු නැත.

විවෘත තුවාලය සහ සදාතන ශෝකය

(The Open Wound and the Melancholia)

මෙවැනි ආපදාවකින් පසු යළි නැගිටින සමාජයක සමාජ මාධ්‍යයේ භූමිකාව විභාග කරමින් අප ඉහත සාකච්ඡා කළ ඇමෙරිකානු ලේඛනය විසින් මතු කළ මානසික සෞඛ්‍ය සඳහා සමාජ මාධ්‍යය, යළි නගාසිටුවීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය තක්සේරු කිරීම, ආපදාවෙන් පසු මානව සම්බන්ධතා සංවර්ධනය සඳහා සමාජ මාධ්‍ය යොදාගැනෙන ආකාරය වැනි තේමා පිළිබඳ සිතා බලන්නට පුළුවන. කුණාටුව පහව ගංවතුර බැස ගිය පසු ඒ ආපදාවෙන් ගැලවීම පිණිස සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වූ සහන යාත්‍රාද සෙමෙන් සෙමෙන් බැස යනු පෙනේ. එහෙත් ඒ අවකාශය පිරෙමින් ඇත්තේ කම්පිත ආත්මය – traumatic subject යටපත් කෙරෙන, අර තසෝගේ කතාවේ මෙන් මායාකර වනයක උස අත්තකට නැග අසිපත් ලෙළවන කුමාරවරුන්ගෙන් බව පෙනේ.

කිසියම් සුව නොවූ කම්පනයක් යනු විවෘත තුවාලයක් (open wound) බව සිග්මන් ෆ්‍රොයිඩ් ලිවීය. එරින් ස්ක්ලම්ෆ් විසින් මේ සංකල්පය ඉදිරියට වර්ධනය කරමින් මෙවැනි කම්පන (trauma) තනි පුද්ගලයන්ගේ සුව නොවූ මානසික තුවාලවලට අදාළ දෙයක් පමණක් නොව නවලිබරල් සමාජයකදී මෙවැනි සුව නොවෙන තුවාල, විවෘත තුවාල සේ විවිධ ආර්ථික සහ දේශපාලන සංසිද්ධි සමග ගැටගැසෙමින් ජාතික වශයෙන් ඇති කරන කම්පන බලපෑම් පැහැදිලි කරයි. (Schlumpf, 2025) විශේෂයෙන්ම නව ලිබරල් සංස්කෘතික තර්කණයක් සහිත සමාජයක මෙවැනි දේ උණුසුම් වෙළඳපොලක් මෙනි. ඒ අර්ථයෙන් මෙහි විවෘත තුවාලය, විවෘත වෙළඳසැලකි. අපේ සමාජ මාධ්‍ය භාවිතය ඇසුරින් මේ විවෘත තුවාලය පිළිබඳ අදහස වටහාගැනීම අපහසු නැත. ඉහත කියූ මිනීකඳු බෙදැහැරීම සහ ඉතා අවාසාවන්ත සිදුවීම් ආගමික, නිරාගමික හෝ වෙනත් සීමාන්තික දෘෂ්ටිවාද සමාජගත කිරීම වෙනුවෙන් යොදාගැනෙනු නිතර දකින්නට පුළුවන. ආපදාව අතරතුර කාලයේ සිටම විවිධ වැරදි තොරතුරු සමාජගත කරමින් විනෝදයක් ලබන ඇතැම් විට සමාජ මාධ්‍ය මගින් මුදල් ඉපයීම අරමුණු කරගත්, අවධානය ලබාගැනීමේ උපක්‍රම වශයෙන් නිර්මාණය කරන විවිධ පින්තූර සහ වීඩියෝද විශාල වශයෙන් සංසරණය විය. AI තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ ව්‍යාජ ප්‍රකාශන දසදහස් ගණනින් බෙදාහැරිණි. ආපදා වාර්තාකරණයේ මාධ්‍ය ආචාරධර්ම සිහිකරමින් ඉතා ආයාචනාත්මක සටහනක් ලෙස ආචාර්ය අනුෂ්කා කහඳගම සිය ෆේස්බුක් පිටුවෙහි ලියූ සටහනක මෙසේ එයි.

“ඊට අමතරව සමාජ මාධ්‍ය හසුරුවන අය, තමුන්ගේ පේජ් වල රීච් වැඩිකරගන්න ඕන නිසා අමානුෂික විදියට බොරු ප්‍රචාර පැතිරවීමෙන් වළකින්න. AI තාක්ෂනය යොදාගෙන කරන වීඩියෝ නවත්තන්න. මේ සිද්ද වෙලා තියෙන ව්‍යසනයට තව පිදුරු දාන්න එපා. මේ පෑරිලා තියෙන ජීවිත සුවපත් කරන්න වචනයකින් හරි දායක වෙන්න.” (අනුෂ්කා කහඳගම, ෆේස්බුක් පිටුව, දෙසැම්බර් 2.)

අනෙක් අතට ලංකාවේ ආණ්ඩුව-පක්ෂ-විපක්ෂ ක්‍රියාකාරී දේශපාලනය මේ අවස්ථාවේ ක්‍රියාකරන ආකාරය ඉතා නොමේරූ ලක්ෂණ සහිත සමාජයක් බව පෙන්වයි. මෙවැනි කම්පන අවස්ථාවල සාමූහික සමාජයක් පොදුවේ මුහුණ දෙන තීරණාත්මක අභියෝග සහ පක්ෂ-විපක්ෂ දේශපාලන එදිරිවාදිකම් සමාජගත වන ආකාරය මගින් අපට මේ විවෘත තුවාලයේ තරම පෙනේ. එය විකෘති කෙරෙමින් පවතින විවෘත තුවාලයකි. අනෙක් අතට සිය ජීවිතයේ සිහිනය එළිකරගැනීමේ (ධනවතෙකු වීමේ) මාවත – සමාජ මාධ්‍ය බව සිතන තරුණ තරුණියන්ගෙන් අපේ සමාජය පිරීගොස් තිබේ. කිසිදු වැදගත් අන්තර්ගතයක් නැති කිනම් හෝ රසයක් අවුස්සා අවධානයට පාත්‍ර කළ හැකි අන්තර්ගත/contents සාදමින් ඒවා සමාජ මාධ්‍යයට මුදාහරින සිය දහස්ගණන් අය අපේ මිතුරු ලැයිස්තුවල සිටිති. ඒවා මිලියණ ගණනින් ඇතැම්විට අවධානයට ලක්වෙති. මා මෙහි ඉඟි කරන – එහෙත් මෙවැනි ලේඛනයl උපුටාදැක්වීම පවා – කම්පාව යළි ඇති කරවන ප්‍රකාශන සමාජ මාධ්‍යයෙහි ඉතා ඉහළින් විකිණෙයි. දසක ගණනාවක් පුරා සුව නොවෙන කම්පනවලින් අපේ ඉතිහාසයේ අඩුවක් නැත. අපි – තරුණ කැරළි, වාර්ගික යුද්ධ, සුනාමි, පාස්කු, කොවිඩ් සහ තව නොයෙක් සාමූහික මහා කම්පනවල තුවාලකරුවෝ වෙමු. අප තවමත් අපේ කම්පන ප්‍රතිරාව කරමින් සිටිමු. ඒවා සුව නොවූ තුවාල මෙන් රිදුම් දෙයි. විද්‍යාගාරයක, රෝහලක නොකළැකි සංස්කෘතික සායනයක් අපේ සමාජය කාලයක් තිස්සේ ඉල්ලා සිටියි. සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ආචාරධාර්මික මානය පිළිබඳ නොසිතන තාක් අප කරන්නේ ව්‍යසනයේ කම්පනය ප්‍රතිරාවය කරමින් අර තසෝගේ කතාවේ මෙන් මායාකාර වනාන්තරයක උස ගසකට නැග කෑමෝරදීමකි. ක්ලොරින්ඩාමය ඉකිබිඳුම දසත ඇසේ. මනෝ-කම්පන න්‍යායේ එන ආකාරයට සුව නොවූ මානසික තුවාල බිහි කරන්නේ මෙලන්කෝලියාවකි. මා සදාතනික ශෝකය කියා මෙහි ලියා ඇත්තේ එයයි. ස්වභාවික විපතකින් පසු ඇති වන තුවාල පවා විකුණන නවලිබරල්වාදයේ අනාගතය ගැන ඔබ සිතන්නේ කොහොමද? කුණාටුවෙන් පසු, මනෝ-කම්පන මැද සමාජ මාධ්‍ය හා එහෙ මෙහෙ දුවන අපෙන්, මේ රචනය අවසානයේදී මෙවැනි මහා කම්පාවක් හරහා ගමන් කරන (work through) ආචාරධාර්මික මාවත කුමක් විය හැකිදැයි අවසානයේදී විමසයි.

ආශ්‍රිත ලේඛන

Caruth, Cathy. Unclaimed Experience: Trauma, Narrative, and History. Baltimore and London: Johns Hopkins University Press, 1996.

LaCapra, Dominick. Writing History, Writing Trauma. Baltimore: Johns Hopkins University Press, 2001.

Schlumpf, Erin Shevaugn. Remnants of Refusal: Feminist Affect, National Trauma. Albany: State University of New York Press, 2025.

Van der Kolk, Bessel A. The Body Keeps the Score: Brain, Mind, and Body in the Healing of Trauma. New York: Penguin Books, 2015.

Young, Camila E., Erica D. Kuligowski, and Aashna Pradhan. A Review of Social Media Use During Disaster Response and Recovery Phases. NIST Technical Note 2086. Gaithersburg, MD: National Institute of Standards and Technology, U.S. Department of Commerce, January 2020.

Leave a Reply