මමත්වයේ තේමාත්මකය, මිනිස් බව හා කවිය: ඉසුරු චාමර සෝමවීරගේ ‘මමත්වතා’ ගැන විමසුමක්

ඔයා කවි ලියන්නේ කොහොමද?

මං?

ඔව්
මා ලියන්නේ
කුඩා පැණි කුරුල්ලන්
කූඩු සාදන අයුරිනි
(සෝමවීර, පි. 6)

මං, ඉසුරු චාමර සෝමවීරගෙ අලුත් පොත කියෙව්වෙ හදිස්සියක් නැතුව. හොඳම කවි පොත තෝරන විනිශ්චය මණ්ඩල සාමාජිකයෙක්ගෙ මේසය මත ඇති නිර්ණායක කිසිත් නැති, හොඳම කවිය සොයන ෆේස්බුක් කලබලය අඩු, සැහැල්ලු මේසයක් මත. මහන්සි වෙලාවල, බාගෙ විට- අලුයම්වල.

පිහිනීම නොදනිමි

අපි
ප්‍රීතියේදීත්, ශෝකයේදීත්
එක්වම සිටීමට ගිවිසීමු

එහෙත්
බොහෝ දුර ආවේ
තැනිතලා තණබිම් මතිනි
ඉඳහිට සමනලුන් පියාඹන

එක වගේ දිගු දින
බොහෝ ගණනක්
එක පෙළට පසුකළෙමු

ඉඳහිටය තිබුණේ
ප්‍රීතියේ නූස් ශේෂ කඳු

දැන් අපි
ශෝකයේ මුහුදු වෙරළේ

ඔව් ඔබ කියන හැටියට
ගල් මල් වටා හැසිරෙන
නන් වන් මසුන් ඇති
මුතු පවා සැඟවගත්

ඔවුන් පවසන පරිදි
ප්‍රීතියේ මහාමේරුව
ඇත්තේ මීට එපිටිනි

එහෙත් සිහිනෙන් දකිමි
ඉතා සීතල ආගාධ
පසුපස හඹා එන
සුවිසල් මිනී මෝරුන්

අනේ මම
පිහිනීම නොදනිමි
ඉතා වෙහෙසෙන් වැතිරෙමි (පි. 17)

ඉසුරු පොත පුරාම ලියන්නෙ මමත්වය ගැන. මෙහි මමත්වය යනු ව්‍යවහාරික අර්ථයේ එන අර්ථමාර්ථකාමය එනම්, selfishness නෙමෙයි. මම නමැති තත්ත්වය හෝ මම නමැති දෙය. මමෙහි ස්වභාවය. මම බව. mineness හෝ the quality of -I-ness කියන්නත් පුළුවන්, නැත්තම් selfhood. එය එක තේමාවක් නොවේ, මමත්වයේ තේමාත්මකය කියා තේරුම්ගන්න පුළුවන්. මෙහි විවිධ තේමාවල කවි තියෙනව. ගතානුගතික ජීවිතය, පවුලක ජීවන වෙහෙස, ප්‍රේම සම්බන්ධතා, පරාරෝපණය, ලිංගික නිදහස, නවලිබරල් මිථ්‍යා ආදී නොයෙක් තේමා. ඒ සියලු තේමා කවිපොතේ එන්නේ මමත්වයේ තේමාත්මකය ඔස්සේ. තේමාව හා තේමාත්මකය අතර සියුම් වෙනස ඔබ දැනටමත් දන්නවා.

කුඩා වන විහඟුන් (පි. 10), පිහිනීම නොදනිමි (පි. 16), අල්පේසාක්‍ය (පිටු. 36-37), ගුහාසයං (පිටු. 60-61), තනි තනි ඔරු (පි. 37) වැනි මම-තත්ත්වය පිළිබඳ ගැඹුරු සිතීමක නිරත මා කැමති කවි සමහරක්. මේ පොතේ එන -ඔබ නොමැතියෙන්- (පි. 29) කියන කවියෙ කථකයා කරන්නෙ තනිව කඳුකර මාවතක ඔබ සොයමින් ඇවිදීම. හැබැයි කථකයා එහෙම කිව්වට ඔහු/ඇය සොයන්නෙ තමාවම බව රසිකයට පෙනෙනව. මහජනතාව (පිටු. 18-20) වගේ බැලූබැල්මට සෘජු දේශපාලනික, තරමක් විරෝධාකල්පික වගේ පෙනෙන කවියක් වුණත් එන්නේ මමත්වයේ තේමාත්මකය ඔස්සේ. 88/89 භීම සමය සිහි කරන එහි ට්‍රෝමාව තේමාව වන කවියෙ නාමය; ඇයි ඔයා කවි ලිව්වෙ? -මළ කපුටෙක්- (පි. 53) පවා මෙහි මමත්වයේ ප්‍රකාශනයක් තමයි. ඊගෝව විතරක් නෙමෙයි ඉඩ් ඔහුගෙ කවිවල වස්තු විෂයට එනව. බලන්න; -ඔව් මං ඒව බලනව (පිටු. 40-42 )- වගේ කවියක්. මම/තමා සහ අනෙකා අතර සම්මුතිගත ලෝකයේ පැල්ම ඔහු නිතර හඟිනව. එහි ඇති දෙබිඩියාව. අතාර්කික බව. එහි නිස්සාරත්වය. අතෘප්තිකර බව. මම නමැති දෙය හා අනෙක් දෙය- මම හා අවට ලෝකය ගැන මගේ පරීක්ෂාව තමයි මේ කවිවල තේමාත්මකය. The narrator of almost all the poems observes and negotiates his own agency while engaging with the historical, the communal, and the ritualistic. This involves a conscious and critical positioning of the self within space, time, and society, accompanied by an act of self-understanding and a search for the self. In a broad sense, this constitutes the book’s thematic approach, which is reflective rather than narcissistic, situating the self in relation to time, history, society, and human civilization.

දෛනික ජීවිතය හා බැඳුණු නොයෙක් කාල, අවකාශ, මානව සබඳතා ඇසුරේ ඔහු මමත්වය ආලෝචනය කරනව. එහි පැනෙන්නෙ විගලිත බවක්. සම්මුතිගත ලෝකය තුළ තමා අහිමි වී යාමක්. නිස්සාර හුදෙකලාවක්. දෛනික ජීවිත සංසිද්ධීන්වල විසංගතික බව ඔහු තමා තුළම අතරමං කරනව. එහි කිසියම් අර්ථවත් සාරයක් වටහාගැනීමයි ඔහුගෙ බලාපොරොත්තුව. මේ මමත්වයේ තේමාත්මකය ගැන, කවියාගේ විදර්ශනාවේ කාව්‍යමය කූඨප්‍රාප්තිය සේ මට පෙනෙන්නෙ මේ කවිය;

Pick me

මිත්‍රයා,

රැගෙන යන්න මා
කොහේ හෝ
නොදන්නා පෙදෙසකට

අතීත ගල් ගුහාවකට
මිනිසුන් කිහිප දෙනෙක්
ගල් පතුරු උල් කර
බයිසන් ගවයන් අඳින

නැතහොත්
පිටාර ගිය
කහ ගඟ දෙපස
නගුලෙන් හාන
මිනිසුන් අතරට

රැගෙන යන්න මා.

මස් පලහා කා
ගිනිගොඩක් බෝ කර
ඒ වටා නටන
මිනිස් පොදියක් මැදට

වෙහෙසයි මට

බිඳින්න
මේ ඒකාකාරී දවස්

බිඳිමින් සිටී ඒ අය
දෛනිකත්වය

අරුණෝදයට පෙර
තදානන්දාකාර ගුළියට
තද නින්දක
සිහින අතරට
ඈත අතීතයට

විටින් විට
අප
මිනිස් ශිෂ්ටාචාරය
ලද යුතුය
තද
කම්මුල් පහර
ඇහැරෙන්න

අනේ
රැගෙන යන්න මා

දණ නමා
බිලි පුද දී
හිරු දෙවි වඳින
දෙවොලට

මා බිලි දුන්නාට
කමක් නැහැ

වෙහෙසයි
මේ
ඒකාකාරී දවස්

කාව්‍යාත්මක-යථාර්ථවාදී නිර්මාණයක් වන මේ කවිය මේ කෘතියේ එන කුඩා කුඩා මමත්ව ආඛ්‍යාන සියල්ල කැටිකරගත් මහා ආඛ්‍යානය කියා මට හිතෙනව. ජීවිතයේ නොයෙක් කාල අවකාශ අතර සැරිසරන කථකයා කිසිවකින් තෘප්තකර නෑ. සිය පුද්ගල අනන්‍යතාව, තමා තුළ වන තමා බව සහ සමකාලීන සමාජ ජීවිතය අතර ඇති ආතතිය (tension between individual identity and social life). මමත්වතා කෘතිය පුරාම එන්නෙ මේ සිය අනන්‍යතාව සහ සම්මුතිගත, සමාජ යථාර්ථය අතර වන නොගැළපුම. පැල්ම. ආතතිය. මේ යථාර්ථයෙන් පලායාමේ සහ වෙනස් සෞන්දර්යාත්මක යථාර්ථයක් ඔහු පරිකල්පනය කරන බව පෙනෙනව. සමකාලීනත්වයෙන් ඈත නොදන්නා අර්ථ අඩවියකට ඔහුව ගෙනයන්නැයි ඔහු ඉල්ලනව. මේ කවියෙදි ඔහුට ඉතිහාසයේ කාලය හරහා ශිෂ්ටාචාරයේ මුල්, ගල් යුගයටම යන්න අවශ්‍ය වෙනව. තවමත් අලුත් වෙන අර්ථවත් වෙන අතීතයේදී ඔවුන් දෛනික ඒකාකාරීත්වය බිඳ දමන සැටි ඔහුට හමුවෙනව. සුප්‍රසිද්ධ ෆුකුයාමා ප්‍රවාදයට අනුව දයලෙක්තිකයේ ඉතිහාසය අවසන් කරන ලද මේ නව ලිබරල් සමාජ මොඩලය පිළිබඳ තියුණු අප්‍රසාදය ඔහු වෙතින් පළ වෙනව පෙනෙනව. ඔහුගෙ අපේක්ෂාව ශිෂ්ටාචාරමය වෙනසක්. යුග කාරක පෙරළියක් වැනි යමක්. ඔහු අවිද්‍යා අභිචාරයක ගොදුරක්ව හිරු දෙවි වඳින දෙවොලක බිලි වෙන්න වුණත් ලෑස්තියි. විපරීත සමකාලීනත්වය වෙත ඔහුගෙ විචාරය තමවත් බලාපොරොත්තු ඇස් දල්වන එකක් කියල මට හිතෙනව. මළත් කමක් නෑ අතීතයට හෝ යන්න ඔහු කාල තරණයට සූදානම් වෙන්නෙ ඒකයි.

දෛනික ජීවන සංසිද්ධි සහ ඒ ඇසුරෙන් කෙරෙන විදර්ශනා මගින් කථකයා සාක්ෂාත් කරගන්නා වූ කාව්‍යයමය සත්‍යයන් පවා ඔහු සැක කරන බව පෙනෙනව. ගිහි‍ගෙය හැර ගිය තවුස්වර කවියෙකු වෙනුවට ජීවිතයේ නොසෙවුණු යමක්, අලුත් බවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඔහුගෙ කවියෙ තියෙන බව මට හැඟෙනව. එහිදී ඔහු වඩාත් සමීප වෙන්නෙ සොබාදහමට. (කියවන්න; මා නමැති ඒ කුඩා ලෝකය, පි. 54) තමාගේ ඉන්ද්‍රිය ඥානනයට හසු නොවූ සොබාදහමේ අපූර්වත්වයක් ඇතැයි සාංකාවක ඔහු පෙළෙනව. ජීවිතයේ අනියත බව දකිමින් දෛනිකත්වයේ හිස් බව හෝ නිස්සාරත්වය විවරණය කරන කාව්‍යයමය රූපකයක් තනා පැත්තකට වෙනව වෙනුවට කථකයා හැම කවියකදිම ලෞකිකයේ ඇලෙනව. දෛනිකත්වයේ ගැලෙනව. ඒත් ඔහුට/ඇයට මේ දෛනික යථාර්ථය ඉතා වෙහෙසකර එකක්. ඔහු එහි පැවැත්ම ප්‍රශ්න කරනව. එහි සංස්කෘතික ඉතිහාසය පරීක්ෂා කරනව.

මා සටහනේ මුල උපුටාගත් -පිහිනීම නොදනිමි- කවියට නැවත යමු. ඒ කවියෙදි ඔහු තමා ගත කරන ජීවිතයේ ස්වභාවය පිළිබඳ රූපකයක් ගොඩනගනව. ඒ රූපකයෙන් පෙනෙන්නෙ ජීවිතයේ දුෂ්කර ගමන. ජීවිතයේ අර්ථය සහ ගමන්මගේ බර කිරාමැනබැලීමක් වැනි දෙයක්. කථකයාට අනුව කලාතුරකින් පමණයි ජීවිතයේ සතුටක් ඇත්තේ. සතුට වෙනුවෙන් දැරිය යුතු මහන්සිය අපමණයි. අපමණ මහන්සියෙන් පසුවත් ඔවන් දැන් ඇවිත් ඇත්තේ වෙරළකට. ශෝකයේ මුහුුද තරණය කළ යුතුයි. මේ සාගරයට එහායින් තමයි පූර්ණ ප්‍රීතිය ඇත්තේ. නව නිදහස් අර්ථ ක්‍රමයක මායාවද මේ කියන්නේ?

ඔවුන් පවසන පරිදි
ප්‍රීතියේ මහාමේරුව
ඇත්තේ මීට එපිටිනි

දුෂ්කර ජීවන ගමනේ අනවරත බව. සතුට නම් දෙය -මම- නමැති දෙයට වඩා බෙහෙවින්ම ඈත, අපරිමිත – අනන්තය දක්වා විහිදුණු බොහෝවිට මිථ්‍යාමතික මහාමේරුවක් විය හැකි බව මුහුදු වෙරළට ආපසු ඔහු දන්නවා. එහෙත් සියල්ලෝ දුවන්නේ ඒ ලිබරල් මායා මුහුදේ. එහි මුතු ඇති බව කියවෙනව. ඉතා විස්මිත දේ මැද අනන්ත වෙහෙසකර හා අනතුරුදායක පිහිනීමකින් අනතුරුව පූර්ණ ප්‍රීතිය මුණගැසෙන නම් මිථ්‍යා ආක්‍යානය කථකයා පිළිසිඳගත් පසු,එනම් කවියෙහි පරිසමාප්ති අවස්ථාව එයයි කියල, මෙතනින් කවිය නැවැත්තුව නම් හොඳයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ කොටසෙදි කවිය එහි මුණිවර බවට ළං වෙනව. නමුත් ඔහු ඒ යථාර්ථයේ අපිරිමිත බව තුළ තමාගේ ඉරණමත් පිහිටුවනව. මට හිතෙන විදිහට, මේ පිහිටුවීම මගින් තමයි ඉසුරුගෙ මේ පොතේ ඉලක්ක කාව්‍යමයත්වය පැනනගින්නෙ. ඔහු -රැය කරා ගමන- (නන්දන වීරසිංහ, 2018) වගේ කාව්‍යමය මතුමහලකදි දිවි අරුත පසක් කරන ඉසිවර බවට ඔහු රුසි නෑ. ඔහුගෙ හැම කවියකම දාර්ශනික දිවි සත්‍යය තුළ නොවිසඳුණු යම් දෙයක් පිළිබඳ කුකුසෙන් ඔහු විඳවනව. ඒ විඳවීමයි කවිය. ඔහු සොබාදහම ඇසුරින් රූපක තනන – මිනිස් ජීවිතයේ අසාර-සාර විනිවිඳින රණවීරගේ වැනි කවි මගක සීමාව සලකුණු කරනව. ඔහු සොබාදහමේ රූප මිනිස් ජීවිතය පිළිබඳ විදර්ශනා බහාලන රූපක තැනීම පිණිස නෙමෙයි භාවිතා කරන්නෙ. මේ අපේ බොහෝ කවියො දැන් ලස්සනට කරන දෙයක්. ඒ වගේම එය ඉතා මනරම් කවි මගක්. නමුත්, ඔහු ඒ නතර වීමේ සීමාව සැක කරනව. සොබාදහම වෙත ඔහුගෙ ප්‍ර‍වේශය වෙනස් වගෙම වැදගත්. ඔහුගේ ecopoetics ප්‍රවේශයට මම හරි කැමතියි. එය සොබාදහම උදෙසාම ලියන ecocriticism or ecocritical approach එකෙනුත් තරමක් වෙනස්. මේ කවිතාමය අනන්‍යතා කතා කරන්න තරම් මේ ෆේස්බුක් ඉඩ මදි. (කියවන්න; වන දෙවඟන, පිටු. 76-77). මම පෞද්ගලිකව ඔහු මෙමග යමින් මේ කවි කලාව වර්ධනය කරන හැටි බලන්න ආසයි. ඒත් පැණිකුරුල්ලෙක් කූඩු සාදන්නාක් මෙන් කවි ලියන කවියෙකුගෙන් අපි එහෙම ඉල්ලන්නත් නරකයි. සටහන දැනටමත් බොහෝ දිග නමුත් මේ කවිය නොකියවා ඉස්සරහට යන්නට බැරි බවක් මට දැනේ.

කිවිඳ වෙහෙසද?

නැග තුඟු ගිරග
තනිවම
පෙන්වා අපට
පෙර නුදුටු මල්

විඳ සැඩ තාප
දියවැල් සිහිල
තැන තැන විඩාහැර

හොර, මී, දොරණ, බෙරලිය
මහ තුරු සෙවණ යට
වැරණිය, මඩොල්, මලබඩ
කෙටි පඳුරු පෙන්වා
නොනැවත

යටි වියන යට නිදියන
සඳ සිසිල විඳ ඇහැරෙන
සුදු සිනිඳු බිම්මල්
පොළොං, මාපිල්, කටුසු ඈ
අපා, බහුපාවුන්
හැඳින අල්වා වදනින්
දිවි සොබා මේ යැයි
යළි යළි කියා දී

පැකිළ පා රූටා
සීරි රිදී කුදු කය
නැවත නැවතද
හිඳුවා
දිරියෙන්
රිදී හිස
නොපැකිළ
නොනැවතී
නැග

ඇනෙන කටු සූරා
මහලු පා ඉදිමී
රුජා දෙද්දිත්
නොනැවත

නැග ගිරග
වෙහෙසද?

ගිරග තුඩ මත හිඳ
ඔබම කී පරිද්දෙන්
එකට එක මිටකට
කුඩා තනි තිතකට
කුරුලු ඇසකින් ලොව ගෙන
බලාලා

දුකද සතුටද
දැනෙන්නේ?

කිනම් හැඟුමක්ද ඔය
වියළි ඇස් අග
දිලියුම්ව
රඟන්නේ?
සුතනඹුන්
අත් මගහැර
නැග යන විටක
ගිරගට
මතක තෙත
වියැළුණිද?

සුදු මේකුළු අතර
තනිවම
ඇයි ඔබ හඬන්නේ?

කඳු පාවුලේ
නැතිවුණ
කුඩා කෙළි බඩුවද
ගිරග නැග
ඔබ සොයන්නේ?

රිදී හිස පහත් කර
හෙමි හෙමින්
තනිවම
කවක්මද
කොඳුරන්නේ? (පිටු. 44-46)

මේ මගේ කවි හද කම්පා කළ කවියට වඩා ජීවිතය විශාල බව කියන, කවියට ජීවිතය තරණය කළ හැකිද යන ගැඹුරු ප්‍රශ්නය. කවියාට යමක් වැරදුණිවත්ද? කවියට ලෝකය ඥානනය කළ හැකි සීමාව ඔහු අඳිනවා. එයට සමස්ත යථාර්ථය ග්‍රහණය කළ හැකිද?

කුඩමසු

මහනෙල් සුවඳමය – කුඩ මසු පිළී ගඳමය
– අලගියවන්න මුකවෙටි

කිවිඳ,

කුඩමසු
සලිත ලලිතය
රිදීමය දිලියුම
නුදුටුවෙද?
……… (පි. 72)

මහලු සිංහයෙක්

කෙස මුදා
නිය විදා
සිංහයා එයි
සබයට

විමසා සිටී
අපගෙන්
මොළකැටි දුවක ගැන
….
කෝ කොහිද
සුප්පා?
කෝ ඇයගේ
වැලපුම් නැටුම? (පිටු. 62-63)

මහා කවියන් දුටු සත්‍යයේ සීමාව ඔහු සලකුණු කරනව. යථාර්ථය විනිවිඳීමෙහි එහි ඇති සීමාසහිත බව. මේවා රැඩිකල් දේශපාලනික කවි. කියවන්න; -ඔපූට- නම් කවිය. එය මා කැමතිම කවියක්.

රායි ඔබ රාමු කර ඇත
සදාතනිකව

අබ මල්වල කහ පාට
දුර්ගාට ළා නිල් පාට
ඉල්ලන්න මුහුදේ කොළ පාට

අඳුරු කළු පාට
ගේන්නට ඇති සම්මාන
රායිට

ඒත් අපිට?

ඔපූ,
ඉල්ලන්න රායිගෙන්
තව පාට

ජීවිතය සහ කවිය එකම බන්දේසියේ තැබීමයි සෝමවීරගේ කවිතාව. රායි නම් විශිෂ්ට සිනමාත්මක කවියා මිනිස් ජීවිතය පිළිබඳ මිරිකා පෙරා පෙන්වූ ජීවන යථාවෙහි ඇති හිදැස් දැකීම කවිය නමැති කලාව සහ ජීවිතය අතර ඇති පරතරය වටහාගැනීමයි. ඔහු ජීවිතය දකින්නේ කවියට වඩා විශාලවයි. ඔහු පෙන්වන්නෙ විශිෂ්ට කලාවටත් මගහැරෙන ජීවිතයේ නේක පාට තවත් ඇති බව. එහි සංකීර්ණත්වය. අර්ථකථනවල සීමාසහිත බව. ඒ වගේම මේ කවියෙහි ඇත්තේ කලාවට, කවියට සොබාදහමේ සම්පූර්ණ සත්‍යය විනිඳීමට නොහැකි බව පසක් කරගත් සර්වඥ ඥානය තමා පසක් කළ බවත් දැන් ඉන්පසු කවියෙන්ද මිදෙන මගක් ගැන ඉඟියක් නොවේ. ඔපූට රායිගෙන් තවත් පාට ඉල්ලන්නැයි කවියා කියනව. මේ මා මමත්වතාහි කැමතිම තැනක්. ඔහු කවියට තව දුර යා හැකි බවත්, නුදුටු තව දිවි අරුත් කවියට දකින්නට හැකි බව ඔහු අනුරාගිකව හඟියි. මේ පොතේ එන හැම කවියකම මෙන් ජීවිතයට ඇති ඒ අනුරාගික බව කැවී තිබේ. ඒ මමත්වය මෙහි සියලු කවිවල පිහිටයි. එහෙත්, තවමත්, ඔහු තමාගේ ඒ පිහිටීම නොඉවසයි. ඔහු පැණි කුරුල්ලෙක් සේ කවි ලියන්නේ එබැවිනි.

Leave a Reply