
Do as I tell you, my child. Take good care of this little doll and never show it to anyone. If ever anything bad happens to you, give the doll something to eat and ask its advice. It will help you out in all your troubles. And, giving Vasilisa a last, parting kiss, the old woman died.
– Vasilisa the Beautiful, A Russian Fairy Tale
පොප්ලර් බිරියෝසා එගස් මෙගස් අස්සේ
බොදුර දුව දුවා ගාට ගාටා ආවාට පස්සේ
පවා නොයෙක් බාබයාගා මායා – නොමායා ඉස්සේ
නොපසුබස්නා රස්නය ඉස දරන්
වසිලිස්සා වැස්සේ!
මා කැමතිම පොත් කියවන්නේ ඉතා සෙමිනි. පසුගිය මාස දෙකතුන තුළ වරින්වර ප්‍රගීතිකා ජයසේකරගේ වසිලිස්සා වැස්සේ කවි කියවමින්, ඉන් හමන සුවඳ හා සුළඟ විඳිමින් සිටින විට, ඇගේ කාව්‍යාත්මය මතුව එන්නේ මව්වත් ස්ත්‍රිවාදී පර්යාලෝකයකින් බව මට සිතෙන්නට විය. වසිලිස්සා වැස්සේ පසුකවරයේ එන කව, ප්‍රගීතිකාගේ කවියෙහි සාරය, ස්ත්‍රී අත්දැකීමෙහි උරුම වන වසිලීසා- බාබයාගා යුගළය පිළිබඳ සංඥා කරයි.
මේ කවි පොතෙහි හමුවන ගැහැණු වසිලීසාගේ යහපත, සුන්දරත්වය, ඉවසීම සහ බාබ යාගා නම් මායාකාර ස්ත්‍රියගේ කපටි, නපුරු සහ ආත්මාර්ථකාමී බව එකවර දරා සිටිති. ඇගේ කාව්‍ය භූමිදර්ශනයෙන් මතුව එන්නේ ගැහැණු සිරුරක- ආත්මයක උරුමය බඳු මේ පරස්පරයයි. ගිනි-සිසිලයි. එය, ලස්සන වසිලීසා සහ මායාකාර නපුරිය, බාබයාගා උරුමය, එකම සිරුරක ජීවත් කරවන්නට සිදුවන ස්ත්‍රී ආත්මයේ හඬයි. ගැහැණියකගේ දිවි ගමනේ මාවත බාබ යාගා වසන මායාකාර වනාන්තරයක් මැදින් බව මෙහි කියැවෙයි. ලස්සන වසිලීසා නම් මිථ්‍යා කතාව ඔස්සේ හැඩගැස්වෙන ප්‍රගීතිකාගේ කවියෙහි මතු වන මව්වත් ස්ත්‍රීවාදය වෙත මෙම රචනයේ තේමාව වෙයි.
ලස්සන වසිලීසා හා මායාකාර බාබ යාගා
දැදිගම වී රුද්‍රිගු විසින් ලස්සන වසිලිස්සා නමින් සිංහලයට පරිවර්තනය කොට ඇති මෙම රුසියානු ජනකතාව අපි සැමොව මෙන් කියවා ඇත්තෙමු. ඉතා ඈත කාලයක, පිටිසර පෙදෙසක, රුසියාවේ, දුප්පත් පැලක මහලු යුවළක් වාසය කරති. වසිලීසා ඔවුන්ගේ සුරූපී දියණියයි. නව යොවුන් වියේදීම ඇගේ මව මිය යයි. මිය යන්නට පෙර ඇය විසින් වසිලීසාට කුඩා බෝනික්කෙකු තෑගි කරමින් එය හොඳින් කවා-පොවා රැකබලාගන්නා ලෙසත් ඇය මුහුණ දෙන ඕනෑම කරදරයකදී බෝනික්කා ඇයට පිහිටවනු ඇති බවත් පවසයි. මේ කුඩා බෝනික්කා යොවුන් වසිලීසාගේ ජීවිතයේ කොටසක් මෙන් වෙයි. ජීවන ගමනෙහි මාර්ගෝපදේශය වෙයි.
මව මිය යාමෙන් පසුව වසිලීසාගේ පියා නැවත විවාහ වෙයි. කුඩම්මාට තවත් දියණියන් දෙදෙනෙකි. මේ කුඩම්මාගෙන් සහ සහෝදරියන්ගෙන් වසිලීසාට නිතර නොයෙක් හිරහැර එල්ල වෙයි. නිවසේ සියලු බැලමෙහෙ කරමින් දවස ගත කළද ඇය දිගින් දිගටම නොයෙක් තාඩන පීඩනවල ගොදුරක් වෙයි. දිනක් ඔවුන් විසින් නිවසේ ආලෝකයක් නැති බවත් ගින්දර ටිකක් ඉල්ලාගෙන ලෙසත් කියමින් වසිලීසා බාබ යාගා නම් මායාකාරිය වෙත පිටත්කර යවයි. බාබ යාගා යනු ඉතා නපුරු, කපටි, විනාශකාරී ස්ත්‍රියකි. ඇය වනාන්තරයේ අපායක් සිහිගන්වන බලකොටුවක් තනාගෙන එහි දිවි ගෙවයි. එය මිනී ඔළුවලින් පිරී ඇත. වැටවල් ගසා ඇත්තේ මිනිස් ඇටකටුවලිනි. ඇගේ සේවකයන් ලෙස නොයෙක් සත්තු වැඩට සිටිති. රිදී, රතු, කළු අසුන්, දරුණු බල්ලන්, පූසන් ඇගේ සේවකයෝය. ඇය මිනීමස් බුදින්නියකි. ගින්දර ටිකක් ඉල්ලාගෙන බාබ යාගා මුණගැහෙන වසිලීසා දරුණු කරදයක වැටේ. බාබ යාගා විසින් කිසිසේත් මිනිසෙකුට තනිව ඉටු කළ නොහැකි නොයෙක් ගෙදර වැඩ පොළ වසිලීසා වෙත පවරයි. ඇය පවරන වැඩකොටස නිසි ලෙස ඉටු නොකරන්නේ නම් බාබ යාගා විසින් වසිලීසාව ගිලදමන බවට වන කොන්දේසිය මත මෙසේ දිනගණනක් පවරන වැඩ, වසිලීසා තම කුඩා බෝනික්කාගේද උදව්වෙන් බොහෝ මහන්සි වී නිම කරයි. බාබ යාගා සිටින්නේ තමා පවරන වැඩකොටස් ඉටුකරමින් වසිලීසා මරණයෙන් ගැලවෙන ආකාරය ගැන පුදුමයෙන් සහ කෝපයෙනි. මේ මායාකාරිය වසිලීසාගේ හැසිරීම ඉතා සමීපව නිරීක්ෂණය කරමින් ඇයට අසීරු දේවල් පවරමින්කෙසේ හෝ ඇයව ගොදුරු කරගන්නට මාන බලයි. ඉන්ද්‍රජාලික බෝනික්කාගේ මාර්ගෝපදේශ අනුව යමින් වෙනත් සතුන්ගේද ආධාරයෙන් – නොයෙක් ගැහැට මැද වසිලීසා අන්තිමේදී බාබයාගෙන් මිදී වනාන්තරයෙන් පළායයි. ඇය නිවෙසට යන විට එය ගින්නෙන් ඇවිළෙයි. සිය කුඩම්මා සහ නපුරු සොයුරියෝ එහි දැවෙති. ගින්නෙන් මිදෙන වසිලීසා පසු කලෙක දක්ෂ රෙදි වියන්නියක් බවට පත් වේ. ඈ වියන ඇඳුම් කෙතරම් වටිනා ඒවා වූයේත් යත් ඒවා මිලදී ගන්නට හැකි වන්නේ රජමාළිගයට පමණි. ඇගේ රූ සපුවට වශී වන රජ කුමරෙකු ඇයව විවාහ කරගනියි.
මේ මිථ්‍යා කතාව මගින් නිරූපණය කෙරෙන වසිලීසාගේ ජීවන ගමනෙහි ඇති අන්තරායකර සහ දුෂ්කර බව ප්‍රගීතිකාගේ කවියෙහි අර්ථාන්විතව වැඩෙයි. මේ කතාවේ එන බාබ යාගා යනු හුදු දුෂ්ට චරිතයක් නොවේ. ඇය ජීවිතයේ අනියත බව, බඩගින්න, මරණය, ලෙඩරෝග, හිංසා කරදර, මරණය මෙන්ම සත්‍යයද හඟවයි. මේ මායාකාරියගේ වනාන්තරය වර්තමාන ලෝකය පිළිබඳව කදිම රූපකයකියි මට සිතේ. ලස්සන වසිලිස්සා කතාව නැවත කියවා බලන්න ඔබට යෝජනා කරමි. බාබ යාගා බියජනක ස්ත්‍රියක් බව සැබෑය. එහෙත් සොබාදම් නීතියට අනුව ඇය වසිලීසාට ජීවිතයේ අවස්ථා පිරිනමයි. අභියෝග කරයි. පරීක්ෂා කරයි. ප්‍රගීතිකාගේ බොහෝ කවිවල පැනෙන සමකාලීන ලාංකික ගැහැණියගේ අත්දැකීම බාබ යාගේ මායාකාර වන අරණ සිහි කරයි.
ඕනෑය ඇයට ගින්දර!
මොර සූරන වැහි යටින්
ගෙන යා යුතුය ඒ ගිනි
අරණ පසු කර නුවරට
ගොහොරු අතරෙහි තෙතබරි
අපුල දනවන චිරි චිරි
දිය මැටියන් සැපුම්
දරා ගත යුතු වේය
අත් හළ නොහෙන
අළු සුඟ රැගෙන
සොයන්නී ඈ නුවරක්
කින්නරාවක ලෙස
(පි. 1)
අප සමග ජීවත් වන ගැහැණිය තමාටත් වඩා අනෙකා වෙනුවෙන් කරන දිවි අරගලය මේ බොහෝ කවිවල කියැවෙයි. ඇගේ කවියෙහි භාෂාව බෙහෙවින් හික්මවන ලද එකකි. ඉතා සංයමයෙන් ඇය ලියයි; තේරෙන තේරවිල්ලක්.
ඉබ්බෙකු ගොළුබෙල්ලෙකු නොවුණට මම
ගෙයක් උරින් ගෙන යන්නේ හැම තැන
උදයේ හිරු පරදන රෑ පැරදෙන
කියන්න ඔබ දන්නවාද මගෙ නම?
(පි. 35)
වසිලීසා, බාබ යාගා හා මව්වත් ස්ත්‍රීවාදය
මා මෙම රචනයෙහි මව්වත් ස්ත්‍රිවාදය යන යෙදුම භාවිත කරන්නේ ස්ත්‍රීවාදයෙහි එන න්‍යායික අදහසක් හෝ යෙදුමක් (term) අනුව යමින් නොවේ. ස්ත්‍රීවාදයෙහි නොයෙක් ප්‍රවේශ ඇති බව අපි දනිමු. මා මෙහි මව්වත් ස්ත්‍රීවාදය කියා ලියන්නේ වසිලීසා මිථ්‍යා කතාව ඔස්සේ ප්‍රගීතිකා ගොඩනගන කාව්‍යාත්මක අර්ථනිරූපණය විස්තර කිරීමටයි. මෙහි මව්වත් බව යනු මාතෘත්වය පමණක් නොව ආදරය, කරුණාව, ඉවසීම, තේරුම්ගැනීම, තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීමේ ශක්තිය, උපක්‍රමශීලී බව, ස්වාධීනත්වය, කැපවීම, වගකීම සහ වගවීම ඈ සියලු මව්ගුණ පිරි කාව්‍යාත්මයකි. ඇගේ කවියෙහි ලස්සන වසිලීසා, කුඩා බෝනික්කිය මෙන්ම නපුරු මායාකාරිය, බාබ යාගාද වසයි. මෙහි අපි දෙන්නා යනු එයයි. වසිලීසා සහ බාබ යාගා එකම සිරුරක ආත්මීයව මුණගැසෙයි. ඒ අතර ඇගේ කවිය පලිගැනීම, දැවෙන ද්වේෂය හෝ රැඩිකල් ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් වෙනස් වෙයි. ඇය ඉතා සියුම් සහ පැසුණු කවි බසක් භාවිත කරන නිසා පමණක් නොවේ. ඇය ඉතා සවිඥානික ලෙස රැඩිකල් ස්ත්‍රීවාදයෙන් බැහැර වෙමින් වඩාත් පරිණත ස්ත්‍රී පැවැත්මක් පිළිබඳ අන්තර්දෘෂ්ටි හෙළන නිසාවෙනි. එය මව්වත්කමින් පමණක් යා හැකි ගමනකි. එය වඩාත් සූක්ෂම ලෙස මතු කරන්නට ඇය ගොඩනගන සාහිත්යික රූපකය මෙහි කැපී පෙනෙයි. මෙම කෘතියෙහි පළමු කවිය වසිලිස්සා නමින් නම් කොට ඇත. අවසාන කවිය වැස්සේ නම් වේ. වසිලිස්සා – – – වැස්සේ. ඒ කවි දෙක පොතේ මුල සහ අවසානයේ මේ ආකාරයට යොදාගැනීම මා දකින්නේ ප්‍රගීතිකාගේ සවිඥානික කවිකමක් ලෙසය. ඇය නූතන ස්ත්‍රිය පිළිබඳ ගොඩනගන රූපකය ඉන් කුළුගැන්වෙයි. ඒ කවි දෙක මැද එන කවිවලදී ඇය අපේ සමාජයේ ගැහැණු සිය දිවි අරණ තරණය කරන සැටි ගැන ලියයි. ඇතැම් විට, හතිවැටෙන විට වෙන්නැති, ඇය’තින් සුලබ කවි පදත් ලියැවෙයි.
රෝස කළඹක් දකින විට
පෙනෙන්නෙම නටු
සුවඳ විඳි පමණටම
ඇනී ඇති බැවැනි කටු
(පි. 10)
පහතින් පළ වන්නේ මෙම කෘතියෙහි එන තරමක් රැඩිකල් කවියකි. එය මෙම කෘතියෙහි බාබ යාගා මොහොතයි.
ඔබ නික්ම ගිය පසු
නික්ම ගිය පසු
නිහඬවම
ඔබ
තනි ගසක්
තණ බිමක්
වැස්සක්
කුඩයක්
මම
යන අතරමග
ඔබ හිතනවද
කුඩය යට තෙමී නොතෙමී හිඳුම,
ගසෙහි සෙවණ පැතීම,
පසෙක ලා කුඩය
තණ බිමෙහි වැහි දිය විඳුම
මින් කුමක්
තෝරා ගනු ඇද්ද මම
තිගැස්සෙනවද ඔබ
ඊළඟ කෝච්චිය ගැන
පීලි මත වැතිරුම
නැතොත් මැදිරියකට නැඟුම
මින් කුමක්
තෝරා ගනු ඇද්ද මම
ඉතින් කුමටද
ඔබට එය දැන
ඇවිළෙයි සියුම් පුපුරක්
හද දවාගෙන…
පි. 30-31
තමාගේ ජීවිතය පිළිබඳ කැමැත්ත, තෝරාගැනීම, වගකීම ආදිය පිළිබඳ ස්ත්‍රී පැවැත්මෙහි වන ස්වායත්ත බව – වසිලීසාමය ස්වරයෙන් අපට ඇසෙයි. මෙම කාව්‍යයෙහි පද සංඝඨනයෙහි ව්‍යක්ත බව නිසා එහි අර්ථය වඩාත් කැපීපෙනෙයි.
අපි දැන් මේ කවි පොතෙහි එන තේමාත්මක වශයෙන් වඩාත් පරිසමාප්ත කවිය කියවමු.
අපි දෙන්නා
තනිකම් දොසින් ආකුල
මල් වියේ සිට දරන්නී පිරිපත
වසිලිස්සා
රිදී රතු කළු අසරුවන්
පසු කර යනෙන මග
කඹුරන්නී එන තෙක්
ඒ උදෑසන
රෑ නැති නුවණ මතු වෙන
වසිලිස්සා
කුමරෙකු සමග සරණය
සුරඟන පවත ඉම වුව
හිඳින්නේ තනිවය
වසිලිස්සා
අඳුරු ගන වන අඩවිය
මිනී ඔළු විජිතයේ රැජිනිය
පදින වංගෙඩි මෝල් ගස් රිය
බාබයාගා
කෝපයට මුසු තාපය
දවද්දී බුර බුරා ළය
හිනැහී හඬ නගා
සැඟව වැලපෙන්නී ඇය
බාබයාගා
සිය’ළු මත්තෙම ඇහැරුණ
ෆීනික්ස් කිරිල්ලය
ඇහැ ඇඟිල්ලෙන් පාරන
ගුඩු අඳුරු මුහුර්තය
ළය දවා පහන් කරන්නිය
බාබයාගා
ඒ එළියෙන් සුඟක් ගෙන
අරණ තරණය කරන්නිය
වසිලිස්සා
මාය ඒ බාබයාගා
මාය ඒ වසිලිස්සා
පි. 54-55
මෙහිදී කිවිඳිය ඉතා නාටකීය ලෙස වසිලීසා සහ බාබයාගේ පරස්පරය ඇසුරින් ස්ත්‍රී අත්දැකීමෙහි වන ආචාරධාර්මික, මානසික ආතතිය නිරූපණය කරයි. ඇය කරන්නේ අප දැනටමත් දන්නා රුසියානු ජනකතාව කවි බසින් කීම නොවේ. ඇය අර පුංචි මිථ්‍යා ප්‍රබන්ධය මහා සමාජය තුළ රූපකාර්ථයෙන් එළා දක්වයි. ඇගේ ලස්සන සහ බෝනිකි සුහදතාවට නොදැරිය හැකි තරම් ගිනි උසුළන්නට, සටන් කරන්නට සිදු වේ. දැඩි තීරණ ගන්නට සිදු වේ. දිවි අරණ තරණය ඉතා ඉවසීමෙන් යන පරීක්ෂාකාරී ගමනකි. වසිලීසා ජයගන්නේ හුදු නුවණක්කාරකම හෝ බෝනිකි මායා බලයෙන් නොවේ, නිරන්තර පරීක්ෂාව, ආචාරධාර්මික බව හා සත්‍යවාදී බව නිසාය. ප්‍රගීතිකාගේ කවියෙහි ඉතා විස්මයජනක ලෙස වසිලීසා සහ බාබ යාගා එක චරිතයක් තුළ පිහිටුවයි. එය ඇගේ කවිය කියවීමෙන්ම පමණක්ම අත්දැකිය හැකි- අර්ථදැක්විය හැකි ලෝක දැක්මකි.
මා මේ රචනයෙහිලා වසිලිස්සා වැස්සේ, ‘මව්වත් ස්ත්‍රීවාදී එළඹුමකි’යි ශාස්ත්‍රීය හිතුවක්කාරයෙකු සේ ලියාතබන්නට මේ රචනයේ තේමාවෙන් පිටස්තර තවත් හේතුවක් තිබේ. එනම්, මව්බිමෙන් බොහෝදුර වෙසෙන මට, ප්‍රගීතිකාගේ කවියෙහි දනෙන මව්වත් ගුණයයි. හමන මව්වත් බවේ සුවඳයි. එය තරු ඇස් උරුමයකි. ඇය ලියයි;
තරු කඩන් හැලෙන
කළුවර අහස යට
මා වඩාගෙන ඔබ
කියූ කවි කතන්දර
මතකයෙ නැතත් ඔක්කොම
ඒ තානයයි අම්මේ
තියෙන්නේ මගෙ අකුරුවල
එදා ඔබ පෙන්නුවෙ
තරු තමයි අත දික්කර
මා වටේ කැරකුණේ
කණමැදිරියන් වග
දැන ගත්තෙ පසු කලෙකය
ඔබේ ඇස්වල දිලිසුණ
විදුරු මිණි තරු කැට
බිඳෙන් බිඳ දිය කර
මා තෙමූ මතකයකි සීතල
දිය වුණු තරු නොවෙයි ඒ
දනිමි අම්මේ තිර කර
තරු පිරුණු අහසකි
දැන් මගෙත් ඇස්වල!
(පි. 8)