‘කුඩා ග්‍රහලෝකයක් වෙත ගමනක්’: නාට්‍යයක් පිළිබඳ ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක්

EF’s Visit to a Small Planet: Some Questions to Ask a Play

නාට්‍යමය ව්‍යුහය ඔස්සේ ඇවිද යන මේ ගමන – ඉගෙනුම් ආධාරකයක් වේ. යේල් නාට්‍ය පාසලෙහි MFA Dramaturgy වැඩසටහනට සම්බන්ධ සිසුන් සඳහා නියමිත නාට්‍ය කියවීම (Reading Theater) නමැති විචාරාත්මක  රචනය පිළිබඳ පාඨමාලාවට ප්‍රවේශයක් ලෙස පසුගිය වසර කිහිපය පුරා මම මෙය භාවිත කළෙමි.

පහත දැක්වෙන ප්‍රශ්න කිහිපයක් නාට්‍ය විචාරයයේදී නිතර දක්නට ලැබෙන, හා බොහෝවිට නාට්‍ය විශ්ලේෂණය දුර්වල කරන – චරිතය මුල් කරගත් සුපුරුදු මනෝවිද්‍යාව වෙත ඉක්මනින් එළඹීම – වැළැක්වීම අරමුණු කරගෙන නිර්මාණය කර ඇත. එම පූර්ව විනිශ්චයන්ට වෙනස්ව, කතා වින්‍යාසය පිළිබඳ ඇරිස්ටෝටල්ගේ අද්විතීය  ප්‍රවේශය සමග තුලනාත්මකව පිහිටුවන මෙම විධික්‍රමය – අනෙකුත් නාට්‍ය විශ්ලේෂණ විධි – වෙනුවට ඉදිරිපත් කරන (විචාර) පද්ධතියක් නොවේ. ඒ වෙනුවට මෙය විචාරාත්මක පරිකල්පනය (critical imagination) සඳහා භාවිත කළ හැකි ආදර්ශයක් (template) ලෙස සිතිය හැකිය.

හෙඩා ගැබ්ලර් (Hedda Gabler) ගැන පිලිප් ලාසන් විසින් ලියූ විශිෂ්ට රචනයකදී නියමාකාර කාර්යසාධන විචාරයක් (a genuine performance criticism) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විස්තර කර ඇත. විචාරය, තාවකාලික ආනන්දය (විනෝදය) ඇගයීමෙන් සෑහීමට පත්වීමට අකමැති නම්, ඔහු ලියයි; “එය, නාට්‍යකරුවා, විචාරකයා හෝ රසිකයා මීට පෙර නුදුටු හෝ නොදකින – නාට්‍යමය විභවතාවක් – නාට්‍යයෙහි පවතින යමක් – විස්තර කිරීමට උත්සාහ කළ යුතුය“.1 ලාසන් විසින් මතු කරන නාට්‍යමය විභවතා විනාශ කරන, නාට්‍ය ලෝකයේ ඇතැම් අඳුරු කලාප කිහිපයකට ආලෝකය සැපයීම ඉලක්ක කරගෙන මෙම ප්‍රශ්න නිර්මාණය කරගෙන ඇත. මෙම ප්‍රශ්නවලට ලැබෙන්නේ කුමන ආකාරයේ පිළිතුරුද යන්න වැදගත් නැත. මෙම ප්‍රශ්න ඇසීමම විචාර කාර්යයට අත්‍යවශ්‍ය දායකත්වයක් සපයයි. (එලිනර් ෆුක්ස්)

නාට්‍යයේ ලෝකය තුළ අහඹු සිදුවීම් නොපවතින බව අප අනුමාන කළ යුතුය. කිසිවක් අහඹු ලෙස සිදු නොවේ – නාට්‍යයක, අහඹු සිදුවීම් පවා අහඹු ලෙස සිදු නොවේ. ඒ නිසා, නාට්‍යයක කිසිදු නොවැදගත් සිදුවීමක් නැත. ඒ අනුව, රසවත් බව (good taste), හෝ නිවැරදි ආකෘතිය යන තෝරාගත් අර්ථකථනමය සීමාවලින් තොරව පූර්ණ අවධානය සහ කුතුහලයෙන් යුතුව ඒ වෙත එළඹෙන්නැයි නාට්‍යය අපෙන් ඉල්ලා සිටියි. විනිශ්චය කිරීමට පෙර අප ප්‍රශ්න ඇසිය යුතුය. නිතර පුනරාවර්තනය කළද ඉතා අඩුවෙන් වටහාගන්නා කලාව මගින් ජීවිතය නිරූපණය කරයි යන සංකල්පයේ ගැඹුරුතම අර්ථය මෙයයි.

I. නාට්‍යයේ ලෝකය: මුලින්ම අවධානය යොමු කළ යුතු දෑ

නාට්‍යයක් යනු හුදු සාහිත්‍ය කෘතියක් නොවේ, වෙනත් ලෝකයක් ගැන කාව්‍යාත්මකව කරන විස්තරයක්ද නොවේ. එය, ඔබ සිටින අවකාශය හා කාලයට වඩා වෙනස් – ස්වාධීන ලෝකයකි. භාෂාව යනු එම ලෝකයේ එක් කොටසක් පමණි. භාෂාව පිළිබඳ අසීමිත ලෙස වධ වෙන අයට නාට්‍ය කියවීම අපහසු වන්නේ එබැවිනි. ඔබ, එම‍ වෙනත් ලෝකය දකින විට එහි කාල-අවකාශ ගතිකත්වයන්, එහි ව්‍යුහමය විචිත්‍රත්වය අත්විඳින විට, එම ලෝකය තුළ භාෂාවට හිමි භූමිකාව ඔබට වටහාගත හැකිය.

භාෂාව මත අසීමිත අවධානය යොමු කිරීම නාට්‍ය කියවීම අපහසු කරන්නේ යම් සේද, චරිත මත දැඩි  අවධානය යොමු කිරීම ඊට පරස්පර ගැටලුවක් ඇති කරයි. නාට්‍ය කියවීම අතිශය සරල කරයි. චරිත නිරූපණය මත පමණක් පදනම් වී නාට්‍ය ව්‍යුහය දෙස බැලීමෙන්, අපේ දෛනික ලෝකය සමග කිසිදු වගවිභාගයකින් තොරව මේ ආගන්තුක නාට්‍යමය ලෝකය පටලවාගැනීමේ අවධානමක් (අනතුරක්) ඇති කරයි. වේදිකා ලෝකය කිසිවිටෙකත් අපේ ලෝකයේ නීතිවලට අනුගත නොවේ. මන්ද, ඒ ලෝකය තුළ, එහි පවතින දේ හැර වෙන කිසිවක් නොපවතියි; විකල්ප ක්‍රියා සිදු කළ නොහැක.

මෙම සම්පූර්ණ ලෝකය දැකගැනීමට, රූපකාත්මකව මේ විධිය අනුගමනය කරන්න. නාට්‍යය (නිර්මාණය) මධ්‍යම ප්‍රමාණයේ බෝලයක් ලෙස හැඩගස්වා – එය ඔබ ඉදිරියේ මධ්‍ය දුරකින් තබාගෙන, ඔබේ දෑස් අඩවන් කරගෙන ඒ දෙස බලන්න. ඔබට සම්පූර්ණ ග්‍රහලෝකය දැකගත හැකි තරමට බෝලය කුඩා කරන්න. නමුත්, එහි විස්තර නොපෙනී යන තරමට කුඩා නොකරන්න; ඒ වගේම, එහි විස්තර ඒ තුළම නොපෙනී යන සේ විශාලනය නොවිය යුතුයි.

ඔබ ඉදිරියේ දැන් පෙනෙන්නේ නාට්‍යයේ ලෝකයයි. දෑස් අඩවන් කරගෙනම එහි අවකාශය (space) පිළිබඳ විමසන්න. මේ ග්‍රහලෝකයේ අවකාශය කුමක් වැනිද? ගෘහස්ථ හෝ බාහිර, නැතිනම් කෘතීම හෝ ස්වභාවික පරිසරයක්ද? එහි අවකාශය සීමා කොට තිබේද? විවෘත අවකාශයක්ද? ස්ථාන බොහෝමයක් හරහා දිගහැරෙන දිගු මාවතක් ඔබට පෙනෙන්නේද? කඳු පන්තිවලින් හෝ නිම්නවලින් සැදි භූමිදර්ශනයක් ඔබ ඉදිරියේ තිබේද? මුහුද සහ ගොඩබිම? අප සිටින්නේ දිවයිනකද? ගල් ගුහාවක් ඇතුළතද? කාන්තාරයක හෝ වනාන්තරයකද? පිටිසර මාර්ගයක් අහබඩද? 

දැන්, කාලය (time) පිළිබඳ විමසන්න. මෙම ග්‍රහලෝකයේ කාලයේ හැසිරීම කෙබඳුද? කාලය එක තැන නතර වී තිබේද? මෙහි කාලය ඉතා කලබලකාරී ලෙස හෝ ක්ෂණිකව ගලා යන්නේද? නැතහොත් මන්දගාමීව, සෙමෙන් ගලා යන කාලයක්ද? මෙම ග්‍රහලෝකයේ කාලය සලකුණු කරන්නේ කෙසේද? ඔරලෝසුවෙන්ද? සූර්යයා මගින්ද? අඩි ශබ්දය මගින්ද? අප මේ සිටින්නේ කුමන වර්ගයේ කාලයක් ඉදිරියේද? චක්‍රාකාර කාලයක්ද? සදාතන කාලයක්ද? රේඛීය ලෙස ගලායන්නක්ද? ඒ කුමනාකාරයේ රේඛීය කාලයක්ද? එක් දවසක්ද? එක් ජීවිත කාලයක්ද?

දැන් මේ ග්‍රහලෝකයේ කාලගුණය (climate) ගැන විමසන්න. මෙහි කුණාටු පවතීද? සූර්ය හා චන්ද්‍රග්‍රහණ සිදු වන්නේද? දැඩි උණුසම්කින් යුතු පරිසරයක්ද? හෝ, ගල්ගස්වන සීතලක්ද? ග්‍රහලෝකයේ පරිසරය සාරවත්- සෞභාග්‍යමත් එකක්ද? නැතිනම්, කර්කෂ, ජීවිතයට ඉඩ නොදෙන, හුස්ම හිරකරවන පරිසරයක්ද? මෙම ලෝකයේ ගෙවෙන සෘතුවේ හැඟීම කුමක්ද? සරත් සමයක්ද? සිසිරයද?

මෙම ග්‍රහලෝකයේ පවතින මනෝභාවය (mood) හෝ වාතාවරණය කුමක්ද? මානසික ස්වභාවය කෙබඳුද? ආනන්දජනකද? බරපතල ස්වරූපයකද? ශෝකජනකද? උත්ප්‍රාසවත්ද? සොහොන්බිමක සා සමාන හැඟීමක්ද? මේ නාට්‍යමය වාතාවරණය යනු හුදු කතා වින්‍යාසයේ ප්‍රශ්නයක් නොවේ. (ප්‍රහසනය සතුට ගෙනදීම සඳහා වැනි). නාට්‍යමය ස්වරය, නාට්‍යයේ තානය (tone) වැදගත් වේ. මෙහි තානය කුමක්ද? සැහැල්ලු හෝ රළු – බර එකක්ද? බුද්ධිමය හෝ ආවේගාත්මකද? විනයගරුක හෝ ප්‍රචණ්ඩකාරීද? මෙම නාට්‍යයේ, නාට්‍යමය වාතාවරණය සහ නාට්‍යමය ස්වරය නිර්මාණය වන්නේ කෙසේද? සංගීතය මගින්ද? ආලෝකකරණය, ශබ්ද, වර්ණ, හෝ හැඩතල? කුමන ආකාරයේ හැඩතලද? චක්‍ර රේඛා? කෝණ?

මතක තබාගන්න: හිම හෝ දුමාරය මගින් එය වඩාත් රසවත් වේයැයි ඔබ සිතූ පලියට – මෙම ග්‍රහලෝකය හුදු සීතල හෝ අඳුරු බවට තීරණය කළ නොහැකිය – අඩු තරමින්, දැන්ම එය කළ යුතු නැත. ඔබ ඉදිරියේ තිබෙන දේ පිළිබඳ සූක්ෂ්ම අවධානය තහවුරු කරගන්න. ඔබ වාර්තා කරන දෑ සඳහා මෙම ග්‍රහලෝකයේ තථ්‍ය වශයෙන් පවතින සාක්ෂි තිබිය යුතුය. 

තවමත් ඔබේ කාර්යය අවසන් නැත. බොහෝ නාට්‍යමය ලෝක තුළ සැඟවුණු – (අවශ්‍යයෙන්ම) අපට දැකගත නොහැකි අවකාශ පවතී. ඒවා ගැනද ප්‍රශ්න අසන්න. ඒවායෙහි කාලය, වාතාවරණය, නාට්‍යමය ස්වරය ආයෙහි ස්වභාවය කෙබඳුද? ඒවා ඔබ සිටින ලෝකය සහ නාට්‍යමය ග්‍රහලෝකය සමග කෙසේ සම්බන්ධ වන්නේද?

අවසන, ඔබ මේ කුඩා ග්‍රහලෝකය දෙස බලා සිටින අතරම එහි සංගීතයට සවන්දෙන්න. සෑම නාටකීය ලෝකයක්ම ශෝකාන්විත වැළපුම්, උත්සවාකර සැමරුම්, ළමා හඬ, මන්ත්‍ර වැනි සුවිශේෂී ලක්ෂණ සහිත නොයෙක් ශබ්ද අඩංගු කරගනියි, හෝ යෝජනා කරයි. එය, මිනිසුන්ගේ ශබ්ද හෝ භූමිදර්ශන ඔස්සේ එන ශබ්ද, හෝ ශබ්දය හා නිශ්ශබ්දතාව අතර මාරුවෙමින් පවතිනු ඇත. එම ශබ්ද රටාවට සවන්දෙන්න. 

II. නාට්‍යයේ සමාජ ලෝකය: සමීප බැල්මක්

මෙම ලෝකය තුළ වාසය කරන අය (නාට්‍යමය චරිත) පරීක්ෂා කිරීමට ඔබ තවමත් සූදානම් නැත. ඔවුන්ගේ ඒක-පුද්ගල ගුණාංග හා අභිප්‍රේරණ පිළිබඳ විමසීමට පෙර ඔබ දැනගත යුතු තවත් කරුණු ඇත.

දෑස් අඩවන් කරගෙනම ඉන්න. මෙය පොදු(මහජන) ලෝකයක්ද? නැතිනම් පුද්ගලිකද? මෙහි පන්ති ස්ථරායනය සිදු වී ඇත්තේ කෙසේද? ප්‍රභූ, ජනප්‍රිය හෝ මිශ්‍ර සමාජ ලෝකයක්ද?

මෙම ග්‍රහලෝකයේ චරිත එකිනෙකා හා පවත්වන සබඳතාවල ස්වභාවය කෙබඳුද? කණ්ඩායම් වශයෙන් ක්‍රියා කරන්නේද? හුදෙකලා පුද්ගලයන් සේ හැසිරෙයිද? දෙයාකාරයටමද? කණ්ඩායමක් ලෙස සිටින චරිත අතර ප්‍රධාන චරිතයක් සිටීද? චරිත අන්‍යෝන්‍ය ප්‍රතිපක්ෂ (විරුද්ධ) යුගල ලෙස සකස් වී තිබේද? ත්‍රිකෝණාකාර චරිත ගැටුමක් නිසා (නාට්‍යමය ක්‍රියාව) අගුළු වැටෙනු – ආතති ස්වභාවයක් ඔබට පෙනෙන්නේද? හෝ හැඟෙන්නේද?

මෙම ග්‍රහලෝකයේ චරිත පෙනී සිටින්නේ කෙසේද? අන්තර්වර්ථී (තමා වෙත නැමුණු) චරිතද? නැතිනම් ද්විමාන චරිතද? ඉතා සූක්ෂ්ම චරිතද? අතිශයෝක්තියෙන් යුක්තද? ඔවුන් රූකඩ සේ හැසිරෙන බව පෙනෙයිද? විකට නළුවන් මෙන්ද? ඔබ වගේද? (ඔබට නිශ්චිතව කිව හැකිද?)

එම ග්‍රහලෝකයේ චරිත ඇඳපැළඳ සිටින්නේ කෙසේද? කෑලි ඇඳුම්, විසිතුරු ගවුම්, හෝ කාඩ්බෝට් කට්ටල මෙන් පෙනෙන සළුපිළිද? අපි වගේද? (ඔබට නිශ්චිතව කිව හැකිද?)

ග්‍රහලෝකයේ චරිත එකිනෙකා සමග අන්තර් ක්‍රියා කරන්නේ කෙසේද? සටන්කිරීමෙන්ද? හේතුඵල සම්බන්ධයක් ඇති සංවාද මගින්ද?

මෙම ග්‍රහලෝකයේ බලය (power) ඇත්තේ කාටද? එය ලබාගෙන/ හෝ ලබාගන්නේ කෙසේද? එම බලයට යටත්ව සිටින අය කවුද? එම බලය යෙදවීමේ අවසන් ඉලක්කය කුමක්ද? (බලයේ අරමුණ)

මෙම ග්‍රහලෝකයේ භාෂා පුරුදු (language habits) මොනවාද? ගද්‍ය හෝ පද්‍ය, සංවාද හෝ ආත්මභාෂණ? ඒ වගේම, මේ භාෂා පුරුදුවල වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ කුමන වර්ගයේ සිතිවිලි සහ හැඟීම්ද? භාෂාව වර්ණවත්ද? නැතිනම් පැතලි භාෂාවක්ද? කෙටි, හෝ දිගට ගලා යන භාෂාවක්ද? රූපකාත්මක, එසේ නැත්තම් තාර්කික බස් වහරක්? සාරවත් – විචාරාත්මක භාෂාවක්ද? ඒ වගේම, නිශ්ශබ්දතාව පිළිබඳ කුමක් කිව හැකිද?

III. කුමක් වෙනස් වේද?

මේ වන විට මෙම ග්‍රහලෝකය ගැන හැඟීමක් ඔබට තිබේ.  මෙම ලෝකය කාලය ඔස්සේ ගමන් කරන බැවින් අප එදෙස ගතිකවත් ලෙස බැලිය යුතුය. එහි ක්‍රියාකාරීත්වයෙහි නීති අතර ස්ථිර කිසිවක් නැත. මෙම ලෝකය තුළ කුමක් වෙනස් වේද?

නාට්‍යයේ මුල් රූපය/දර්ශනය (first image) දෙස බලන්න. දැන් අවසාන වේදිකා රූපය (last image) දෙස. ඉන්පසු, නාට්‍ය මධ්‍යයේ කුමන වේදිකා රූපයක් (a central image) ඉස්මතු වී පෙනෙන්නේද සොයා බලන්න. (ස්පාඥ්ඥ ශෝකාන්ත නාට්‍යයේ Kyd’s Empty Box හොඳ උදාහරණයකි.) නාට්‍යයේ ගමනාන්තය (destiny) වටහාගැනීමට මෙම වේදිකා රූප තුනම ඔස්සේ ගමන් කරන්න. අවසාන දර්ශනය (වේදිකා රූපය) වෙත පැමිණීමට පළමු දර්ශනයට (වේදිකා රූපය) මධ්‍ය දර්ශනයේ ගේට්ටුව (gate of the central image) හරහා යාමට අවශ්‍ය වූයේ ඇයි?

මෙම ලෝකයේ භූමි දර්ශනය තුළ කුමක් වෙනස් වන්නේද? එය ඇතුළතින් පිටතට ගමන් කරන්නේද? නිම්නයක සිට කඳුකරයට? නගරයෙන් වන වාසයටද? 

කාලය තුළ කුමක් වෙනස් වේද? සවස් කාලය රාත්‍රිය බවට පැමිණෙයිද? රාත්‍රියේ සිට අලුයම කරා? උදෑසන හෝ මධ්‍යම රාත්‍රියද? අවුරුද්දේ සෘතු හතර ඔස්සේමද? මිනිස් ජීවිතයක විවිධ අදියර ලෙසද? නියත ජීවන අවස්ථා, හෝ මැවුම්වාදයේ සිට අන්තිම විනිශ්චය දක්වාද?

භාෂාව තුළ කුමක් වෙන්ස් වන්නේද? නාට්‍ය ස්වරයේ (tone), නාට්‍යමය වාතාවරණයේ (mood) සහ ඇඳුම්පැළඳුම්වල කුමක් වෙනස් වන්නේද?

ඔබ මෙහි සොයාගන්නා සෑම වෙනස්කමක්ම නාට්‍යයේ චරිත වටහාගැනීමට උපකාරී වන නමුත් සෑම ගමන්පථයක්ම (පරි: වෙනස්වීම යනු ගමන්පථයකි) එයටම සුවිශේෂී වූ සංඥා පද්ධතියක් සේ දැකිය යුතුය. නාට්‍යමය ක්‍රියාව තුළ කුමක් වෙනස් වන්නේද? අපි ව්‍යාකූලත්වයේ සිට විවාහ මංගල්‍යයකට ගමන් කරන්නෙමුද? (රොමැන්ටික් ප්‍රහසනවල මූලික කතා ව්‍යුහය) විපතකින් සාමකාමී සැමරුමකට මාරු වන්නේද? (ට්‍රැජිකොමඩිවල මූලික ව්‍යුහය) අනතුරකින් තවත් විපතක් කරා යන ගමනක්ද? (ඛේදාන්ත නාට්‍යවල මූලික ව්‍යුහය) කම්පනාකාරී පීඩාවකින් පසු නැවත උත්කෘෂ්ට අවස්ථාවට මාරු වෙයිද? (passion play) නාට්‍යමය ගැටුම (අනතුර) ද්විත්ව ඵල ඇති කරන්නක්ද? නපුරු පුද්ගලයන්ට විඳවන්නට සිදුවීම සහ හොඳ පුද්ගලයන්ගේ නිර්දෝෂීභාවය හෙළිකරන අවසානයක්? (මෙලෝඩ්‍රාමා)

වෙනස් නොවන්නේ මොනවාද? මෙම ලෝකය තුළ ස්ථිර හෝ නියමිත පිළිවෙලක් පවතින්නේද? සම්පූර්ණ (හෝ විශ්ව) සත්‍යයක්? දෙවියන්? මරණය?

අවසන් වතාවට තව වරක් දෑස් අඩවන් කොට බලන්න. අවකාශය, කාලය, ස්වභාවික ලෝකය සහ සමාජීය ලෝකය, වෙනස් වන සාධක සහ නොවෙනස් වන දේ සියල්ල එකට ගෙන ඔබ එහි මිථ්‍යාව සොයාගනිමින් සිටියි. (මෙහිදී ෆුක්ස් භාවිත කරන්නේ myth යන වචනයයි. නාට්‍යයෙහි අනුෂංගික අංග එකතු වී ගොඩනැගෙන සමස්තයෙහි තර්කණය – විද්‍යාත්මක ලෝකයේ ඇසින් වටහාගත නොහැකි යථාර්ථය- එක්තරා අභිරහස්මය සහ අස්පර්ෂ බවක් ඉන් ඇඟවෙන්නේ විය හැකිය). නාට්‍යවල සාමාන්‍ය ලෝකයේ හුරුපුරුදු ස්ථාන නිතර හමුවෙයි. මාළිගා බලකොටු, උයන් වතු, වනාන්තර, මහාමාර්ග, දූපත්, හරිත ලෝක, සිහින ලෝක, කුණාටු, රාත්‍රී දර්ශන ආදී බොහෝ දේ. නාට්‍යය එක් ස්ථානයකින් පටන්ගෙන චන්ද්‍රාලෝකය පැතිරුණු වනානාත්රයක් හරහා ගමන් කොට – ඊළඟ දහවලේ හෝ රාත්‍රියේ නැවත පැමිණියහොත් මෙම ගමනෙහි ඇති ප්‍රගමනය (progression) කුමක්ද? වනාන්තරය තුළ රාත්‍රී ගමන අවසන් දර්ශනය වෙත කෙසේ බලපාන්නේද? නාට්‍ය අවසානයේදී එම ලෝකය කිසියම් පරිවර්තනයකට ලක් වූ එකක්ද? නැතහොත් සුළු සුළු වෙනස්කම් සමග යළි සාමාන්‍යය බවට පත් වූ ලෝකයක්ද? ඔබේ පිළිතුරු අනුව මේ ලෝක ස්ථාපිතව පවතියි, හෝ බිඳවැටෙයි. 

IV. ඔබ ගැන අමතක නොකරන්න.

වෙනස් වන්නේ මොනවාදැයි විමසමින්, මේ ලෝකය පිළිබඳ පරිකල්පනය කරන්නා (imaginer) ලෙස ඔබ තුළ සිදුවන වෙනස්කම් මොනවාදැයි අසන්නට අමතක නොකරන්න. මෙම ලෝකය මගෙන් ඉල්ලා සිටින්නේ මොනවාදැයි විමසන්න. එය මගෙන් කරුණාවන්ත වීමට හෝ බියට පත්වන ලෙස ඉල්ලා සිටින්නේද? එය මගෙන් තර්ක කිරීමට ඉල්ලා සිටියිද? වේදිකාව මත සිදුවන ක්‍රියාව වෙත මා භෞතිකව සහභාගී විය යුතුද? එය මගෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් සමග අන්තර් ක්‍රියාකිරීමට ඉල්ලා සිටින්නේද? නාට්‍ය ශාලාවෙන් පිටතට ගොස් දේශපාලනික ක්‍රියාමාර්ග ගත යුතුද? එය මගේ ආචාරධාර්මික පැවැත්ම පරීක්ෂා කිරීමට පොළඹවයිද? මේ ලෝකය මට විනෝදවීමට පමණක්ද විය හැකියි; එසේ විය නොහැකිද? 

V. රංගන කැඩපත් (Theatrical Mirrors)

නාට්‍ය ලෝකයේ මෙම අභ්‍යන්තරික ව්‍යුහය ඉතා වැදගත් වන්නාක් සේ නාට්‍යමය ලෝක තමන්ට සහ තමන් සමගම කතා කරනවා පමණක් නොවේ. ඒවා අනෙකුත් ලෝක සමගද කතා කරයි. මෙම ලෝකය අභ්‍යන්තරයේ සිට කොපමණ නම් ඔබට ඉඟි කරනවාද?  ඒවා වෙනත් නාට්‍යමය ලෝක කීයක් නම් දෝංකාර නංවන්නේද? මෙම අමතර නාට්‍යමය තල – ඔබ දැනටමත් සොයාගෙන ඇති දේ පිළිබඳ කෙසේ ප්‍රතිචාර දක්වන්නේද? 

VI. චරිතය සහ නාට්‍ය විලාසය (Character and Pattern)

ඇත්තෙන්ම, දැන් තමයි ඔබ මේ ලෝකයෙහි වාසය කරන චරිත පරීක්ෂා කිරීමට සූදානම් වන්නේ. එම ලෝකයේ මනෝවිද්‍යාව (psychology) – නාට්‍යමය ක්‍රියාකාරීත්වය ඇතුළු චරිතයක් පිළිබඳ ඔබ කරන සෑම අනුමානයක්ම එම ලෝකයේ කොන්දේසි පිළිබිඹු කරන්නක් විය යුතුය. නාට්‍යයේ චරිත පිළිබඳ ඕනෑම ප්‍රශ්නයකට ආකර්ෂණීයම පිලිතුර සොයාගත හැක්කේ, පළමුව එම චරිතය සම්බන්ධ නාට්‍යමය ග්‍රහලෝකයේ මූලික ලක්ෂණ විමර්ශනය කිරීමෙනි. චරිතයක් අර්ථවත් වන්නේ ඔවුන් වාසය කරන, ක්‍රියා කරන, අවශ්‍යතා සපුරාගන්නා, විවිධ ජීවිත අවස්ථා ගැටගසාගන්නා විශේෂ ආකාර සමග සම්බන්ධ වීමෙන් පමණි. ඒවා නාට්‍යයේ සංකීර්ණ කලාත්මක විලාසයක්/ රටාවක් (complex artistic pattern) ගොඩනගන අත්‍යවශ්‍ය අංග වේ. පළමුව ඒ රටාව සොයාගන්න. 

අවවාදයයි: නොගැළපෙන, අනියම් සිද්ධි, ප්‍රහේලිකාමය අවස්ථා – වස්තු, චරිත හෝ ජවනිකා ඇතුළත් නොවන නාට්‍ය විලාසයක් – ඔබ තුළ ගොඩනැගෙන්නට ඉඩ නොදෙන්න. මතක තබාගන්න; නාට්‍ය තුළ කිසිවක් අහඹු ලෙස සිදු නොවෙයි. ඒ ප්‍රහේලිකාමය අවස්ථා එහි යතුර දරාසිටින්නේ විය හැකියි. නාට්‍යමය ලෝකය සම්පූර්ණයෙන්ම සවිඥානක – දෙන ලද – සීමා සහිත එකක් බව අනුමාන කරන්න. නාට්‍යයක දෘෂ්‍යමය සහ ශාබ්දික සියලු අනුෂංගික කලාවල භූමිකාවද සැලකිල්ලට ගනිමින් නාට්‍යමය ලෝකය පිළිබඳ තක්සේරු කරන්න. නාට්‍ය තුළ සෑම අංගයක්ම එහි භූමිකාවක් බව හෙළිවන විට ඒ ගැන කුතුහලයෙන් සිටින්න. අර්ථය ගොඩනගන කෙනෙකු වන්න. 

නිසැකවම, විවිධ ආකාරයෙන් මෙම ලෝකයේ අර්ථය ගොඩනැගීමට ඔබට පුළුවන. ඔබ හැකිතරම් පූර්ණ ලෙස එය ගොඩනගන්න. අපට දැකගන්නට තව බොහෝ දේ තිබේ.

එලිනර් ෆියුක්ස්

පරිවර්තනය: සුදර්ශන සමරවීර

  1. Philip E. Larson, “French Farce Conventions and the Mythic Story Pattern in Hedda
    Gabler: A Performance Criticism,” in Contemporary Approaches to Ibsen (Oslo:
    Universitetsforlaget AS, 1985), 202. ↩︎

Leave a Reply